2. 1. 2.
[දුතියභික්ඛු සූත්රය]
29. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (කුශල) ධර්ම දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුක්ත ව වෙසෙයි. මරණින් මතු ඔහු විසින් සුගතිය කැමැති විය යුතු වෙයි. කවර (කුශල) ධර්ම දෙකෙකින් ද යත්: ඉඳුරන්හි සංවරයෙනුත්, අහරෙහි පමණ දන්නා බැවිනුත් ය. මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුතු ව වෙසෙයි. (ඔහු විසින්) මරණින් මතු සුගතිය කැමැති විය යුතු වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “මේ ශාසනයෙහි යම් කිසි භික්ෂූවකගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ සදොර වසන ලද ද, අහරෙහි පමණ දන්නා වු, ඉන්ද්රියසංවරයෙන් යුක්ත වූ ඒ භික්ෂු තෙමේ කය සිත පිළිබඳ සර්වප්රකාර සැපයට පැමිණේ.
4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික ගින්නෙන් නො දැවෙන්නේ දිවා රෑ දෙක්හි ම සැප සේ වාසය කෙරෙයි.”
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 3.
[තපනීය සූත්රය]
30. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (දෙලොව ම) පසුතැවිල්ල ඇති කරණ (පසුතැවිල්ලට හේතු වූ) මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරණ ලද කලණ දම් ඇත්තේ, නොකරණ ලද කුසල් ඇත්තේ, නොකරණ ලද පුණ්ය කර්ම ඇත්තේ, කරණ ලද පාපකර්ම ඇත්තේ, කරණ ලද රෞද්ර කර්ම ඇත්තේ, කරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙතෙමේ ‘මා විසින් පින් නොකරණ ලදැ’යි ද තැවෙයි. ‘පව් කරණ ලදැ’යි ද තැවෙයි. මහණෙනි, පසුතැවිල්ලට හේතු වූ මේ ධර්මයෝ දෙදෙන වෙත්.
භාග්යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය ම (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “ඒ අඥාන පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා (කර්මපථභාවයට නොගිය) වෙනත් අකුසල් ද කොට, කුසල් නො කොට, බොහෝ අකුසල් කොට, කාබුන් මරණින් මතු අපායෙහි උපදී.”
මේ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 4.
[අතපනීය සූත්රය]
31. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පසුතැවිල්ල ඇති නො කරණ (පසුතැවිල්ලට හේතු නොවන්නා වූ) මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් කරණ ලද කලණ දම් ඇත්තේ, කරණ ලද කුසල් ඇත්තේ, කරණ ලද පුණ්යකර්ම ඇත්තේ, නොකරණ ලද පාපකර්ම ඇත්තේ, නොකරණ ලද රෞද්ර කර්ම ඇත්තේ, නොකරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙ තෙමේ ‘මා විසින් පින් කරණ ලදැ’යි ද නො තැවෙයි. ‘මා විසින් පව් නොකරණ ලදැ’යි ද නො තැවෙයි. මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරණ මේ ධර්මයෝ දෙදෙන වෙත්.
භාග්යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය ම (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
2. “ඒ ප්රාඥ පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා වෙනත් සදොස් දැ ද (අකුසල්) හැර පියා,
3. අකුසල් නොකොට, බොහෝ කුසල් කොට, මරණින් මතු සුගතියෙහි උපදී.”
මේ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 5.
[පාපක සීල සූත්රය]
32. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන දෙකෙනි. මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්යයෙක් වේ ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.