1. 2. 9.
[සඞ්ඝසාමග්ගී සූත්රය]
19. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් කුශල ධර්මයෙක් සත්ත්ව ලෝකයෙහි උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස, සැප පිණිස උපදියි. කවර එක් ධර්මයෙක් ද? යත්: සඞ්ඝයාගේ සමගිය යි. මහණෙනි, සඞ්ඝයා සමඟ වූ කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ නො වෙත්, ඔවුනොවුන්ගේ තර්ජනයෝ ද නො වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද නො වෙත්, ඔවුනොවුන්ගේ අත් හැරීම් ද නො වේ. එහි ලා නො පහන් වූවෝ පහදිත්. පහන් වූවන්ගේ බොහෝ බව ද වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සඞ්ඝයාගේ සමඟිය සැපයට හේතුවෙකි. සමගවූවනට අනුබල දීම ද සුව එළවන්නේ වේ. සමගියෙහි ඇලුනා වූ, ධර්මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟ කොට කල්පයක් දෙව්ලොවැ සතුටු වෙයි.“
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 10.
[පදුට්ඨපුග්ගල සූත්රය]
20. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම මේ ලෝකයෙහි දූෂිත සිතැති ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම් ගෙන එන ලද්දක් යම් සේ බිම තබා ද, එසේ නිරයෙහි උපදනේ වෙයි. ඒ කවර හෙයින? යත්: මහණෙනි, යම් හෙයෙකින් ඔහුගේ සිත ප්රදුෂ්ට ද, එහෙයින්. මහණෙනි, සිත දූෂිත වීම හේතු කොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ, දුකට හේතු වූ, විවශ ව පතිත වන තැන වූ නරකයෙහි උපදිත්.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙහි ලා මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු ප්රදුෂ්ට සිත් ඇත්තකු වශයෙන් දැන බුදුහු භික්ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය ප්රකාශ කළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත දූෂිත වූයේ ද එ හෙයිනි.“
4. “යම්සේ යමක් ගෙනවුත් බහා තබන්නේ ද, එසේ ම එවැනි සත්ත්වයෝ චිත්තප්රදෝෂ හේතුයෙන් දුගතියට යෙත්.“
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදි.
දෙවන වර්ගය යි.
එහි උද්දානය:
මෝහ, කෝධ, මක්ඛ, මෝහ, අවිජ්ජා, (නීවරණ), තණ්හා (සංයෝජන) සේඛ දෙකය, සඞ්ඝභේද, සඞ්ඝසාමග්ගි, දුට්ඨපුග්ගල යැ යි මේ සූත්ර කීහු. වර්ගය දෙවැනි ය යි කියනු ලැබේ.
තතිය වර්ගය
1. 3. 1.
[පසන්නචිත්ත සූත්රය]
21. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, මේ ලෝකයෙහි පැහැදුණු සිත් ඇති ඇතැම් පුද්ගලයකු මෙසේ (මගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම්, හිසින් ගෙනා බරක් යම්සේ බහා තබනු ලැබේ ද, එසේ ම ස්වර්ගයෙහි උපදියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඔහුගේ සිත ප්රසන්න ය. එ හෙයින් මහණෙනි, සිත පැහැදීම හේතු කොට ගෙණ මෙසේ සමහර සත්ත්වයෝ කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයෙහි උපදිත්.”
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි ඇතැම් පහන් සිතැති පුඟුලකු දැන බුදුහු භික්ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය වදාළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්රසන්න ය එහෙයිනි.
4. යම් සේ යමක් ගෙණවුත් බහා තබන්නේ ද, පැහැදුණු සිත් ඇති පුද්ගල තෙමේ ද, එ පරිද්දෙන් ම ස්වර්ගයෙහි උපදනේ වේ. සිත පැහැදීම හේතු කොට ගෙන සත්ත්වයෝ සුගතියට යෙත්.“
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.