1. 2. 7.
[දෙවන සේඛ සූත්රය]
17. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්හත්ත්වය ඇති, උතුම් වූ නිවන පතමින් වෙසෙන ශෛක්ෂ භික්ෂුහට බාහිර වූ අඞ්ගයක් වශයෙන් මේ කල්යාණ මිත්රයන් ඇති බව බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, කල්යාණමිත්රයන් ඇති භික්ෂු තෙමේ අකුසල් පහ කරයි, කුසල් වඩයි.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සුවච වූ, ගෞරව සහිත වු, කල්යාණමිත්රයන් ඇති යම් භික්ෂුවෙක් වේ ද ( හෙ තෙමේ) නුවණ ඇත්තේ, පිහිටි සිත් ඇත්තේ, කල්යාණමිත්රයන්ගේ වචනය (ඉටු) කරනුයේ, පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්ෂය කිරීම් සඞ්ඛ්යාත අර්හත්ත්වයට පැමිණෙන්නේ ය.
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 8.
[සඞ්ඝභේද සූත්රය]
18. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් (මහා සාවද්ය වූ) අකුශල ධර්මයෙක් සත්ත්ව ලෝකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්මයෙක් ද යත්: සඞ්ඝභේදය යි. මහණෙනි, සඞ්ඝයා බිඳුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටීමට කාරණ වූ ව්යග්රාරාම වූ (භේදයෙහි ඇලුණු) අධර්මයෙහි පිහිටියා වූ, සඞ්ඝභේද කර්මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 9.
[සඞ්ඝසාමග්ගී සූත්රය]
19. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් කුශල ධර්මයෙක් සත්ත්ව ලෝකයෙහි උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස, සැප පිණිස උපදියි. කවර එක් ධර්මයෙක් ද? යත්: සඞ්ඝයාගේ සමගිය යි. මහණෙනි, සඞ්ඝයා සමඟ වූ කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ නො වෙත්, ඔවුනොවුන්ගේ තර්ජනයෝ ද නො වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද නො වෙත්, ඔවුනොවුන්ගේ අත් හැරීම් ද නො වේ. එහි ලා නො පහන් වූවෝ පහදිත්. පහන් වූවන්ගේ බොහෝ බව ද වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සඞ්ඝයාගේ සමඟිය සැපයට හේතුවෙකි. සමගවූවනට අනුබල දීම ද සුව එළවන්නේ වේ. සමගියෙහි ඇලුනා වූ, ධර්මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟ කොට කල්පයක් දෙව්ලොවැ සතුටු වෙයි.“
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 10.
[පදුට්ඨපුග්ගල සූත්රය]
20. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම මේ ලෝකයෙහි දූෂිත සිතැති ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම් ගෙන එන ලද්දක් යම් සේ බිම තබා ද, එසේ නිරයෙහි උපදනේ වෙයි. ඒ කවර හෙයින? යත්: මහණෙනි, යම් හෙයෙකින් ඔහුගේ සිත ප්රදුෂ්ට ද, එහෙයින්. මහණෙනි, සිත දූෂිත වීම හේතු කොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ, දුකට හේතු වූ, විවශ ව පතිත වන තැන වූ නරකයෙහි උපදිත්.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙහි ලා මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු ප්රදුෂ්ට සිත් ඇත්තකු වශයෙන් දැන බුදුහු භික්ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය ප්රකාශ කළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත දූෂිත වූයේ ද එ හෙයිනි.“