1. 2. 5.
[තණ්හාසංයෝජන සූත්‍රය]
15. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤෝජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤෝජනයෙන් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්‍ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්‍යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්‍යාත සංසාරය නො ඉක්මෙයි.”
3. “මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 6.
[පළමු සේඛ සූත්‍රය]
16. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති උතුම් වූ නිවණ පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂූහට සිය සතන්හි උපන් අඞ්ගයක් වශයෙන් මේ යෝනිසෝමනසිකාරය යම්සේ බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක ම අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණ භික්‍ෂු අකුසල් පහ කරයි. කුසල් වඩයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණින් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත යම් ධර්‍මයෙක් වේ ද, ශෛක්‍ෂ භික්‍ෂුහට අර්‍හත්ත්‍වය ලැබ ගැනීම පිණිස එ සේ මහත් සේ උපකාරී වූ අන් එක් කරුණකුදු නුවණින් නො දක්මි. භික්‍ෂු තෙමේ නුවණින් වීර්‍ය්‍ය වඩනුයේ දුඃඛක්‍ෂයට (නිවණට) පැමිණෙන්නේ ය.“
මේ අර්‍ත්‍ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 7.
[දෙවන සේඛ සූත්‍රය]
17. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති, උතුම් වූ නිවන පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂුහට බාහිර වූ අඞ්ගයක් වශයෙන් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇති භික්‍ෂු තෙමේ අකුසල් පහ කරයි, කුසල් වඩයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සුවච වූ, ගෞරව සහිත වු, කල්‍යාණමිත්‍රයන් ඇති යම් භික්‍ෂුවෙක් වේ ද ( හෙ තෙමේ) නුවණ ඇත්තේ, පිහිටි සිත් ඇත්තේ, කල්‍යාණමිත්‍රයන්ගේ වචනය (ඉටු) කරනුයේ, පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණෙන්නේ ය.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 8.
[සඞ්ඝභේද සූත්‍රය]
18. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් (මහා සාවද්‍ය වූ) අකුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලෝකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්‍මයෙක් ද යත්: සඞ්ඝභේදය යි. මහණෙනි, සඞ්ඝයා බිඳුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටීමට කාරණ වූ ව්‍යග්‍රාරාම වූ (භේදයෙහි ඇලුණු) අධර්‍මයෙහි පිහිටියා වූ, සඞ්ඝභේද කර්‍මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.