1. 2. 3.
[මක්ඛපරිඤ්ඤා සූත්රය]
13. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්වප්රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත අලවන්නේ, එය දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්වප්රකාරයෙන් දැනැ ගන්නේ, එහි සිත නො අලවන්නේ,( මාර්ග ඥානයෙන්) දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ විසින් වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් මකු බවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්යක්ප්රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 4.
[අවිජ්ජානීවරණ සූත්රය]
14. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් නීවරණයෙකින් වෙළුනා වූ සත්ත්වයෝ (උත්පත්ති වශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ අවිද්යානීවරණය යම් සේ ද (එබඳු වූ) අන් එක ම නීවරණයකුදු මම (ඤාණසමනුපස්සනාවෙන්) නො දකිමි. මහණෙනි, අවිද්යානීවරණයෙන් ඇවුරුණා වූ සත්ත්වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි (උප්පත්තිවශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම්සේ මෝහයෙන් ඇවුරුණාහු ද එසේ නම් නීවරණයෙකින් සත්ත්වයෝ නිතර සසර හැසිරෙත් ද, මේ අවිද්යා නීවරණය යම් සේ ද, එබඳු වූ අන් එක ම ධර්මයෙකුදු නැත්තේ ය.
3. යම් ආර්ය්යශ්රාවක කෙනෙක් මෝහය දුරු කොට අර්හත්ත්ව මාර්ගඥානයෙන් සහමුලින් මෝහස්කන්ධය සින්දාහු ද, ඔහු නැවත සසර නො හැසිරෙත්. ඔවුනට සසර හැසිරීමෙහි හේතුව විද්යමාන නොවේ”.
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 5.
[තණ්හාසංයෝජන සූත්රය]
15. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්වයෝ දීර්ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤෝජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤෝජනයෙන් යුක්ත වූ සත්ත්වයෝ දීර්ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්යාත සංසාරය නො ඉක්මෙයි.”
3. “මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්රවෘත්තියෙන් ඉවත් වන්නේය.”
භාග්යවතුන් වහන්සේ විසින් මේ අර්ත්ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 6.
[පළමු සේඛ සූත්රය]
16. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්හත්ත්වය ඇති උතුම් වූ නිවණ පතමින් වෙසෙන ශෛක්ෂ භික්ෂූහට සිය සතන්හි උපන් අඞ්ගයක් වශයෙන් මේ යෝනිසෝමනසිකාරය යම්සේ බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක ම අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණ භික්ෂු අකුසල් පහ කරයි. කුසල් වඩයි.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණින් මෙනෙහි කිරීම් සඞ්ඛ්යාත යම් ධර්මයෙක් වේ ද, ශෛක්ෂ භික්ෂුහට අර්හත්ත්වය ලැබ ගැනීම පිණිස එ සේ මහත් සේ උපකාරී වූ අන් එක් කරුණකුදු නුවණින් නො දක්මි. භික්ෂු තෙමේ නුවණින් වීර්ය්ය වඩනුයේ දුඃඛක්ෂයට (නිවණට) පැමිණෙන්නේ ය.“
මේ අර්ත්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.