1. 1. 4.
කෝධ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ක්‍රෝධ නම් වූ මේ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙය මෙසේ කියනු ලැබේ:
2. “යම් ක්‍රෝධයෙකින් කිපියා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 5.
මක්ඛ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මෙසේ මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ම්‍රක්‍ෂ (මකු බව) නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මකුබවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 6.
[මාන සූත්‍රය]
6. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, මාන නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මානයෙකින් මත් වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මානය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මානය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 7.
[සබ්බපරිඤ්ඤා සූත්‍රය]
7. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත නො ම නො අලවන්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නොඅලවන්නේ, කෙලෙස් දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ: