1. 1. 10.
[දෝසපරිඤ්ඤා සූත්රය]
10. භාග්යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරණුයේ, සර්ව ප්රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත ඇල්ම නො හරිණුයේ, කෙලෙස් දුරු නො කරනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. එහෙත් මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්වප්රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නොරඳවනුයේ, එහි ඇල්ම දුරැ ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ.
2. “යම් ද්වේෂයෙකින් ද්විෂ්ට වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්යක්ප්රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[පළමුවන පාටිභෝග වර්ගය නිමි.]
එහි උද්දානය:
රාග, දෝස, මෝහ, කෝධ, මක්ඛ. මාන, සබ්බ, නැවතත් මාන, ලෝභ, දෝස ද යන මොහු ප්රකාශිත ය හ. වර්ගය ප්රථම ය යි කීහු.
දෙවන වර්ගය
1. 2. 1.
[මෝහපරිඤ්ඤා සූත්රය]
11. භාග්යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරන්නේ, සර්ව ප්රකාරයෙන් දැන නො ගන්නේ, එහි සිත රඳවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්වප්රකාරයෙන් දැනැගන්නේ, එහි සිත නො අලවන්නේ, එය දුර ලන්නේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මෝහයෙකින් මුළා වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්යක්ප්රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 2.
[කෝධපරිඤ්ඤා සූත්රය]
12. භාග්යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. “මහණෙනි, ක්රෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරණුයේ, සර්වප්රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත අලවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් කෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්වප්රකාරයෙන් දැන ගනුයේ එහි සිත නො අලවනුයේ, එය දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ඒ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් ක්රෝධයෙකින් ක්රැද්ධ වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ ක්රෝධය සම්යක් ප්රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.