7. මාතඞ්ග චරියාව
207. තවද අන් චරියාවක් කියමි: යම් කලෙක මම් ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති ශීල සම්පන්න වූ සමාහිත වූ සිත් ඇති නමින් මාතඞ්ග නම් තාපස වැ උපනිම් ද,
208. (එකල ජාතිමත්ත නම්) බමුණු ද මමද (පැවිදි වැ) අපි දෙදෙන ගං ඉවුරෙකැ වාසය කළම්හ. මම් උඩුගඟ වසමි, එ බමුණු යටිගඟ වෙසෙයි.
209. හෙතෙම ගංතෙර හැසිරෙනුයේ උඩුගඟැ පිහිටි මා ගේ අසපුව දිටී. එහි දී මට පරිභව බැණ මා මුදුන් පැළේව’යි ශාප කෙළේ යැ.
210. ඉදින් මම ජටිලයාහට කිපියෙම් නම්, ඉදින් මම සිල් නො රැකියෙම් නම් මම ඔහු දෙස බලා ඔහු හළු මෙන් කරන්නට සමර්‍ත්‍ථයෙමි.
211. කුපිත වූ දූෂිත සිත් ඇති ඒ ජටිල තෙම මට යම් ශාපයක් කෙළේ ද, ඒ ශාපය ඔහු මත්තෙහි මැ වැටිණ. ඒ ශාපය උපායෙන් මුදාලීමි.
212. මා ගේ ශීලපාරමිතාව මැ ආරක්‍ෂා කෙළෙමි. ජීවිතය ආරක්‍ෂා නො කෙළෙමි. සර්‍වඥතාඥානය මැ සඳහා එකල්හි සිල්වත් වූයෙමි යි.
සත් වැනි මාතඞ්ග චරියා යි.
8. ධම්මදේවපුත්ත චරියාව
213. තවද අන් චරියාවක් කියමි: යම් කලෙකැ මම් මහායශස්ක වූ මහත්ඍද්ධි ඇති සියලු ලොවට අනුකම්පා කරන ධර්‍ම නම් දිව්‍ය පුත්‍ර වැ උපනිම් ද,
214. එකල්හි මම මහාජනයා දශකුශල කර්‍මපථයෙහි සමාදන් කරවමින් මිත්‍රයන් සහිත වූයෙම් පරිවාරජනයා සහිත වූයෙම් ගම්නියම්ගම්හි හැසිරෙමි.
215. පාපිෂ්ඨ වූ තද මසුරු වූ දිව්‍ය පුත්‍රයෙක් ද දශඅකුශලධර්‍මයන් ප්‍රකාශ කෙරෙමින් මිත්‍රයන් සහිත වූයේ පරිවාර ජනයා සහිත වැ පෘථිවිය ආසන්නයෙහි හැසිරෙයි.
216. ධර්‍මවාදී වූ මම ද අධර්‍මවාදී වූ දිව්‍යපුත්‍ර ද යන අපි දෙදෙන ඔවුනොවුන්ට ඉඳුරා විරුද්ධ වූවමෝ එක් දවසක් ප්‍රතිපථයෙහි තමා රියහිසින් මෙරමා රියහිස ගටමින් හමු වූම්හ.
217. එවිට ඒ ධාර්මික අධාර්මික දෙදෙනා ගේ මඟීන් ඉවත්වීම නිමිති කොට භය ජනක වූ කලහයෙක් විය. මහාසඞ්ග්‍රාමයෙක් එළඹ සිටියේ යැ.
218. ඉදින් මම් ඒ අධාර්මිකදේවතාවාට කිපුණෙම් නම් (එයින් මාගේ) තපෝගුණ බිඳී යන්නේ යැ. ඉදින් මම කිපියෙම් නම් පරිවාර සහිත වූ ඔහු ධූලි කරන්නට පොහොසත්මි.
219. වැළිදු මම ශීලසංරක්‍ෂණය පිණිස සිත සන්හිඳුවාගෙන මාගේ පරිවාරජනයා හා සමඟ ඉවත් වැ ඒ පාපී වූ දේවතාවාට මාර්‍ගය දිනිමි.
220. යථෝක්ත නයින් සිත සන්හිඳුවා ගෙන මාර්‍ගයෙන් ඉවත්වනු හා සමඟ එකෙණෙහි පාපී වූ දෙවියාට පෘථිවි තොමෝ විවර දුන.
අටවැනි ධම්මදේවපුත්ත චරියා යි.
9. අලීනසත්ත චරියාව
221. පඤ්චාල රටැ පිහිටි, දඹදිව අගනුවර වූ කම්පිල්ල නම් නගර වරයෙහි ආචාරශීලයෙන් හා රාජගුණයෙන් ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වී.
222. මම් එරජහට බහුශ්‍රුත වූ සිල්වත් වූ ගුණසම්පන්න වූ හැම කල්හි අනුරක්ත වූ පරිවාර ජනයා ඇති අලීනසත්ත, නම් පුත්‍ර වැ උපන්මි.
223. (එක් දවසක්) මා ගේ පියරජ මුවදඩ ගොස් පෝරිසාදයා වෙත එළැඹියේ යැ. ඒ පෝරිසාද තෙම ‘තෝ මට ගොදුරු වූයෙහි, නහමක් සැලෙව යි මපියාණන් (අත) අල්ලාගත්තේ යැ.
224. ඒ පෝරිසාදයා ගේ වචනය අසා බියපත් වූයේ ත්‍රස්ත වැ කම්පා වූයේ යැ, පෝරිසාදයා දැක රජහුගේ ඌරුස්තම්භය විය.
225. (රජ) මේ මුවමස ගෙන මා මුදාහරුව’යි කී. පෙරළා ඊමට ප්‍රතිඥා දී අවුත් ඒ නන්‍ද බමුණුට ධනය දී (ඉක්බිති) පිය රජ තෙම මා කැඳවී.
226. පුත, රජය පිළිගනුව, මේ පුරය රක්නෙහි, නහමක් පමා වෙව, නැවත මා ගේ ඊමට මවිසින් පෝරිසාදයාහට ප්‍රතිඥා දෙනලද.