3. චම්පෙය්යානාග චරියාව
167. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති චම්පෙය්ය නම් දිව්යනාගරාජ වැ උපනිම් ද එකල්හිදු ශීලව්රත සමාදානයෙන් යුක්ත වූ ධාර්මිකයෙම් වීමි.
168. එකල්හි දු ධාර්මික වැ පෙහෙවස් සමාදන් වැ සිටි මා අහිතුණ්ඩිකයෙක් අල්ලාගෙන රජගෙදොර ක්රීඩා කරවයි.
169. එ අහිතුණ්ඩික තෙමේ නිල්වන් හෝ රන්වන් හෝ ලේවන් හෝ යම් පැහැයක් සිතා ද, ඔහු ගේ සිතට අනුව පවත්නෙමි. සිතූ ආකාර ඇත්තෙම් වෙමි.
170. මම් පොළොව ජලය කෙරෙමි. ජලය ද පොළොව කෙරෙමි. ඉදින් ඔහුට කිපුණෙම් නම් ඇසිල්ලෙකින් ඔහු හළු කොට පියමි.
171. ඉදින් මම් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහී යන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්ත්ථය සිද්ධ නො වේ.
172. මේ ශරීරය ඒකාන්තයෙන් බිඳීයේවා! මෙහි මැ විසිරයේවා! බොල්මිටක් සෙයින් මාගේ සිරුර විසිර යන කල්හි දු ශීලය නො බිඳින්නෙමි.
තුන් වැනි චම්පෙය්යනාග චරියා යි.
4. චූළබෝධි චරියාව
173. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් ශීලසම්පන්න වූ චුල්ලබොධි නම් පරිව්රාජක වීම් ද, එකල සියලු භවය භය වශයෙන් දැක නෛෂ්ක්රම්යය තත්ප්රතිපක්ෂ හෙයින් දැක පැවිදි වීමි.
174. මට රන් බඳු සිවිපැහැ ඇති යම් බමුණු බිරිඳක් වූ නම් ඕ තොමෝ ද සසරෙහි අපේක්ෂා රහිත වැ අභිනිෂ්ක්රමණ කළා යැ.
175. ඇපි නිරාලය වැ සිඳුනාලද තෘෂ්ණාබන්ධන ඇති වැ කුලයෙහි ගණයෙහි අපේක්ෂා නැති වැ ගම්නියම්ගම්හි හැසිරෙමින් බරණැස කරා පැමිණියම්හ.
176. එහි නුවණැති ඇපි දෙදෙන කුලයෙහි ගණයෙහි නො ඇලුණමෝ (ජනසඤ්චාර රහිත බැවින්) නිරාකුල වූ නිශ්ශබ්ද වූ රාජෝද්යානයෙහි වුසූම්හ.
177. බරණැස්රජ උයන දැක්මට ගොස් බැමිණිය දිටී. (හේ) මා කරා පැමිණ ‘මෝ තොමෝ තොපට කවරැ යැ, කවරක්හුගේ භාර්ය්යාවකැ’යි (මා) විචාළේ යැ.
178. මෙසේ කී කල්හි මම් ඔහුට මෙවදන් කීමි: මෝ තොමෝ මා ගේ භාර්ය්යා නො වෙයි. සහධාර්මික වූ සමානශික්ෂා ඇත්තකැ’යි කීයෙමි.
179. ඇය පිළිබඳ වැ බලවත් රාගයෙන් බැඳුණේ දසුන් (රාජපුරුෂයන්) ලවා ගන්වා ගෙන බලාත්කාරයෙන් පෙළමින් ඇතොවුරට ඇතුළු කරවී.
180. (ප්රව්රජ්යා ජාති වශයෙන්) මාගේ සහජාව වූ සමාන ශික්ෂා ඇති (උදකපාත්ර සාක්ෂි කොට ගත් බැවින්) ඔදපත්තිකී වූ භාර්ය්යාව ඇදගෙන යන කල්හි මට කෝප උපන.
181. කෝපය උපන් කල්හි ඒ හා සමග ශීලව්රතය සිහි කෙළෙමි. එහි මැ ඒ කෝපය නිග්රහ කෙළෙමි. මත්තෙහි වැඩෙන්නට නුදුන්මි.
182. ඉදින් කිසිවෙක් එ බැමිණිය තියුණු සැතින් කොටා නම් සම්යක්සම්බෝධිය මැ කරුණු කොට සිල් නො මැ බිඳෙන්නෙමි.
183. එ බැමිණි මට අප්රිය නො වෙයි, මට බල නැත්තේ නො ද වෙයි, මට සර්වඥතාඥානය ප්රිය වෙයි, එහෙයින් ශීලය රක්ෂා කෙළෙමි’යි.
සතර වැනි චූළබෝධිචරියා යි
5. මහිසරාජ චරියාව
184. තවද අනික් චර්ය්යාවක් කියමි. යම් කලෙක මම් වෙසෙසින් වැඩුණු කය ඇති ශක්ති ඇති මහත් වූ සිරුරු ඇති බිහිසුණු දැකුම් ඇති මහවෙනෙහි හැසිරෙනසුලු මිහි වැ උපනිම් ද– (එකල්හි)
185-186. තෙල මහවෙනෙහි ප්රාග්භාරයෙහි ද ගිරිදුර්ගයෙහි ද වෘක්ෂමූලයෙහි ද ජලාශය සමීපයෙහි ද කිසි පෙදෙසෙක් මිහිවුන්ට සිටුනාතැන් වෙ ද ඒ ඒ තැන්හි සරනුයෙම් සොඳුරු තැනක් දිටිමි. එතැනට එළඹැ සිටුනෙම් ද හෝනෙම් ද වෙමි.