89. බෝධිසිඤ්චක ස්ථවිරාවදානය
1542. විපස්සී බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවක් විය. (එකල) පැවිදි ව සිටි මම ඒ පූජාවට එළඹියෙමි.
1543. මම මල් හි (සුවඳ) පැන් ගෙණ (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි:) “සර්‍වඥතෙම (සසර දුකින්) මිදුනේ අප ද (ඉන්) මුදවන්නේ ය. (කෙලෙස්ගින්නෙන්) නිවුනේ (අප ද ඉන්) නිවීමට පමුණුවන්නේ ය” කියායි.
1544. මෙයින් එක්අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකය යි.
1545. තෙතිස්වන කප පවත්නා කල්හි උදකාසේවන නම් ජනාධිපති වූ ඒ අට සක්විතිරජවරු වූහ.
1546. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිසිඤ්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
බොධිසිඤ්චකස්ථවිරාවදානය නවවැනි යි.
90. පදූමපුප්ඵිය ස්ථවිරාවදානය
1547. මම නෙළුම් වනයට (=පොකුණකට) පිවිසියෙම් මල් බිඳින්නෙම් (=නෙළන්නෙම්) දෙතිස්මහපුරිස්ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
1548. මම නෙළුම්මල් ගෙණ (ඒ බුදුරජුන් උදෙසා) අහසට දැමීමි. ඒ ප්‍රසන්නකර්‍මය කොට අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි.
1549. පැවිදි ව සංවරණය කළා වූ කයින් ද සිතින් ද යුතු ව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
1550. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1551. කල්ප අටළොසක පදුමාභාස නම් වූ අටළොස් රජකෙනෙක් වූහ. (එසේ ම) අටසාළිස් රජකෙනෙක් ද වූහ.
1552. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පදුමපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
තිමිරය නඞ්ගලී - පුප්ඵියනිපන්නඤ්ජලීකය
අධෝ පුප්ඵිය රංසිසඤ්ඤක - සද්දසඤ්ඤී ද සේවක ය
පදුමපුප්ඵිය දස - සපණස් ගයකින් බැඳි.
තිමිරපුප්ඵියවර්‍ගය නවවැනියි.
10. සුධා වර්‍ගය
91. සුධාපිණ්ඩිය ස්ථවිරාවදානය
1553-1554. පිදීමට සුදුසු වූ තණ්හාදි කෙලෙස් ඉක්මවූ තරණය කළ (=නැති කළ) සෝකපරිදේව ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරෙහි හෝ පුදන්නහුට (හෙවත් කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නා වූ ඔවුනට (ලැබෙන) පින මෙපමණ ය යි කිසිවකින් පමණ කිරීමට (=මැනීමට) නො හැකි ය.
1555. යමෙක් මේ ලෙව්හි සිවුමහදිවයිනට ඉසුරු රජය කරවන්නේ නමුදු එය මෙබඳු එක පිදුමක සොළොස්වැනි කලාවකට ද නො අගී.
1556. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදි සිතින් සුණුපිඬක් දෙනලදි. (පැළුම් අතරෙහි සුණු බහා සකසන ලදී).
1557. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිසකරෙහි (=ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකය යි.
1558. මෙයින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසඞ්ඛාර නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
1559. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුධාපිණ්ඩියස්ථවිරාවදානය පළමුවැනි යි.