85. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1526. මම පෙර හිමවත්පව්වෙහි වාසය කෙළෙමි. අඳුන්දිවිසම් උතුරුසළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
1527. සියගණන් රැස් ඇති හිරු වැනි වූ පිපුනු සල්රුකක් වැනි වනගත වූ ස්වර්‍ණවර්‍ණ ඇති බුදුරජානන් වහන්සේ දැක -
1528. ඒ විපස්සී බුදුරජානන් වහන්සේ ගේ රශ්මියෙහි සිත පහදවා මම ඇඳිලි බැඳ උක්කුටික ව හිස නමා වැන්දෙමි.
1529. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්‍ය) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රශ්මිසංඥාවෙහි (පැහැදී පිදීමේ) මේ විපාකය යි.
1530. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
රංසිසඤ්ඤකස්ථිවිරාවදානය පස්වැනි යි.
86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1531. වැහැරි සිවුරු දරන්නා වූ මම හිමවත්පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණ ලා හුන්නෙමි.
1532. එකල්හි හිමවත්පව්වෙහි දී ධ්‍යානයෙහි ඇලුනා වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක ඇඳිලි බැඳ (බුදු) රැස්හි සිත පැහැදවීමි.
1533. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි (බුද්ධරශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධ) රශ්මිසංඥාවෙහි (සිත පැහැදවීමේ) මේ විපාකය යි.
1534. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය සවැනි යි.
87. ඵලදායක ස්ථවිරාවදානය
1535. කුර සහිත අඳුන්දිවිසම් දරන්නා වූ මම පලතුරු ගත් අත් ඇත්තෙම් හිමවත්පව්වෙහි දී ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක පලතුරු දිනිමි.
1536. මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
1537. මෙයින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරුදානයාගේ මේ විපාකය යි.
1538. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ඵලදායකස්ථවිරාවදානය සත්වැනියි.
88. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
1539. (මම) හිමවතෙහි පන්ඇතිරියක වසමි. (එකල්හි) දහම් දෙසන්නා වූ ඵුස්ස බුදුරාජනන් වහන්සේ ගේ (මධුර) ස්වරයෙහි සිත පැහැදවීමි.
1540. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1541. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සද්දසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
89. බෝධිසිඤ්චක ස්ථවිරාවදානය
1542. විපස්සී බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවක් විය. (එකල) පැවිදි ව සිටි මම ඒ පූජාවට එළඹියෙමි.
1543. මම මල් හි (සුවඳ) පැන් ගෙණ (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි:) “සර්‍වඥතෙම (සසර දුකින්) මිදුනේ අප ද (ඉන්) මුදවන්නේ ය. (කෙලෙස්ගින්නෙන්) නිවුනේ (අප ද ඉන්) නිවීමට පමුණුවන්නේ ය” කියායි.
1544. මෙයින් එක්අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකය යි.
1545. තෙතිස්වන කප පවත්නා කල්හි උදකාසේවන නම් ජනාධිපති වූ ඒ අට සක්විතිරජවරු වූහ.
1546. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිසිඤ්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
බොධිසිඤ්චකස්ථවිරාවදානය නවවැනි යි.
90. පදූමපුප්ඵිය ස්ථවිරාවදානය
1547. මම නෙළුම් වනයට (=පොකුණකට) පිවිසියෙම් මල් බිඳින්නෙම් (=නෙළන්නෙම්) දෙතිස්මහපුරිස්ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
1548. මම නෙළුම්මල් ගෙණ (ඒ බුදුරජුන් උදෙසා) අහසට දැමීමි. ඒ ප්‍රසන්නකර්‍මය කොට අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි.
1549. පැවිදි ව සංවරණය කළා වූ කයින් ද සිතින් ද යුතු ව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.