81. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
1497. මම චන්දභාගා නදීතීරයෙහි යටිහොයට (=ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගණිමින්) යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නො කැළඹුනු සිත් ඇති බුදුරදුන් දැක-
1498. මම එහි සිත පහදවා මෙසේ සිතීමි: “මේ (සර්වඥ) තෙම (සසරසයුරින්) එතෙර වූයේ (සෙස්සන් ද) එතෙර කරවන්නේ ය. මේ (සර්වඥ) තෙමේ දාන්ත වූයේ (සෙස්සන් ද) දමනය කරන්නේ ය.
1499. තෙමේ අස්වැසුනේ (සෙස්සන් ද) අස්වසන්නේ ය. තෙමේ ශාන්ත වූයේ (සෙස්සන් ද) ශාන්ත කරන්නේ ය. තෙමේ මිදුනේ (සෙස්සන් ද) මුදවන්නේ ය. තෙමේ නිවුනේ (සෙස්සන් ද) නිවණට පමුණුවන්නේ ය” කියායි.
1500. මම මෙසේ සිතා සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට තිමිරමල් (=විහිදි නිල් රැසින් වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්ගයක්) බුදුරජානන් වහන්සේගේ මත්තෙහි විසිරවීමි.
1501. ඇඳිලි බැඳ පැදකුණු කොට බුදුරජානන් වහන්සේගේ ශ්රී පාදයන් වැඳ බටහිරදිගට ගියෙමි.
1502. නොබෝ වේලාවක් ගියා වූ මා සිංහයෙක් පෙළී ය. මම ප්රපාතය අනු ව යන්නෙම් එහි ම වැටුනෙමි.
1503. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1504. සපණස්වන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් මහත් බල ඇති සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
1505. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තීමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තීමිරපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
82. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
1506. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්ය්යසඞ්ඛ්යාත ශාසනයෙහි පැවිදි වීමි. පැහැදුනු සිතින් (යුතු ව) ශාස්තෲන් වහන්සේගේ ශ්රීපාදයන් වැඳීමි.
1507. මම අනන්තගුණසාගරයක් වූ තිස්ස බුදුරජානන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි හටගත්) නාඞ්ගලිකී පුෂ්ප (ලාඞ්ගලිකී = ලියනඟලා මල්) සතක් අහසෙහි දැමීමි.
1508. සතුටු සිත් ඇත්තෙම් බුදුරජුන් විසින් අනුගමනය කළ ආර්ය්ය මාර්ගයට පහන්සිත් ඇත්තෙම් පුදා සියතින් ඇඳිලි කෙළෙමි.
1509. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1510. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිසිඛ නම් සක්විතිරජවරු තිදෙනෙක් වූහ.
1511. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ගතසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි
83. නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය
1512. මම (රුක්ඛමූලිකඞ්ගය සමාදන් ව) රුක්මුල්හි හුන්නෙම් තදින් රෝගී වූයෙම් මහවෙනෙහි අතිශය දුඃඛිතභාවයට පත්වූයෙම් වෙමි.
1513. තිස්ස බුදුරජානන් වහන්සේ අනුකම්පා උපදවා මා වෙත එළඹිසේක. මම වැදහොත්තේ ම සිරසෙහි ඇඳිලි කොට-