56. සපරිවාරාසන ස්ථවිරාවදානය
1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)
1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:
1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,
1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”
1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.
1305. ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පසිඳුරන් විෂයයෙහි ද සංවෘත වූයෙම් ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
1306. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
සපරිවාරාසන ස්ථවිරාවදානය සවැනි යි.
57. පඤ්චදීපක ස්ථවිරාවදානය
1307. මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනා ව පිහිටා ඍජු වූ දෘෂ්ටි ඇත්තෙම් වීමි.
1308. බෝධිය වට කොට ප්‍රදීපදානයක් දිනිමි. (පහන් පූජාවක් කෙළෙමි). එකෙණෙහි (කර්‍මඵල) අදහමින් පහන් දැල්වීමි.
1309. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ පුණයකර්‍ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන් දරත්. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
1310. පර්‍වතය ද ඉක්මවා බිත්තියෙන් පිටත ද ගල්පව්වෙන් පිටත ද හාත්පස යොදුන් සියක් තැන වූ සියල්ල දර්‍ශනය කරමි.
1311. තුන්දහස්සිවුසියවන කපෙහි සතචක්ඛු යන නම් ඇති මහාතේජස් ඇති මහත් බල ඇති සක්විතිරජවරු වූහ.
1312. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආස්‍රවක්‍ෂයයට පැමිණියෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය (=අන්තිම ආත්මය) දරමි.
1313. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් පඤ්චදීපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චදීපක ස්ථවිරාවදානය සත්වැනි යි.
58. ධ්වජදායක ස්ථවිරාවදානය
1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක: