54. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
1282. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවෙක් විය. විසිතුරු කළයක් ගෙණ මම එහි සුවඳ පැන් දිනිමි.
1283. බෝධිය නාවනකල්හි මහවැසි වැස්සේ ය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්ද ද විය.
1284. ඒ අසනිවේගයෙන් (=හෙන පහරින්) එහි ම කලුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නෙම් මේ ගාථාව කීමි:
1285. “සර්‍වඥ වහන්සේ ආශ්ච්‍යර්‍ය හ. ධර්‍මය ආශ්ච්‍යර් ය. අපගේ ශාස්තෘසම්පත්තිය ආශ්ච්‍යර් ය. මාගේ සිරුර (සෙණපහරින්) ඇද වැටිනි. එයින් චුත වූ මම දෙව්ලොව සිත් අලවා වසමි.”
1286. පැන නැගුනා වූ මාගේ සත්බුමු විමන උස් ව නැගුනේ ය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්.
1287. මට ආබාධයෝ නො වෙත්. මට ශෝකයෙක් ද නැත. පරිලාභයක් (=තැවීමක්) නො දකිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1288. දෙදහස්අටසියවන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.
1289. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
55. ඕපවය්හ ස්ථවිරාවදානය
1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.
1291. උතුම් ධර්‍මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)
1292. “භාග්‍යවත්හු සපත්තභාරයහ. (= පාත්‍රය සහිත අටපිරිකරබර උසුලන්නෝ ය. උන්වහන්සේට) අජානීය අශ්ව තෙමේ කැප නො වේ. පසැස් ඇත්තා වූ බුදුරජහු ඔබගේ අදහස දැන එය පිළිගත්හ” කියා යි.
1293. ඉක්බිති මම වාතවේගය ඇති ශීඝ්‍ර ව ගමන් යන වාහනයක් වූ සෛන්‍ධවයා අගය කොට (විකුණා) පදුමුත්තර බුදුරජානන් වහන්සේට යෝග්‍ය වූ පිරිකරක් දිනිමි.
1294. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මට රිසි වූ විසිතුරු වූ වාතජවයෝ (සෛන්‍ධවයෝ) උපදිත්.
1295. (ඒ බුදුන් වෙත) යම්කෙනෙක් උපසම්පදාව ලබත් ද, (ඔවුනට) එය ලාභයෙකි. මනා ලාභයෙකි. ඉඳින් බුදුකෙනෙක් ලෙව්හි (පහළ) වන්නෝ නම්, නැවත ද පයිරුපාසානය කරන්නෙමි.
1296. මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි.
1297. මෙය මාගේ පශ්චිමදේහය යි. පැසිම් උපත වේ. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානය (= නිවණ) ට පැමිණියෙම් වෙමි.
1298. සූතිස්දහස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් මහත් තේජස් ඇති සක්විති රජෙක් විය.
1299. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඕපවය්හ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ඕපවය්හ ස්ථවිරාවදානය පස්වැනි යි.
56. සපරිවාරාසන ස්ථවිරාවදානය
1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)
1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:
1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,
1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”
1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.