554. කිම්බිල ස්ථවිරාවදානය
6372. විසූ බඹසර ඇති බාහිතපාපී වූ කකුසඳ බුදුරදුන් පිරිනිවි කල්හි (ඔබ උදෙසා) මම හොරදඬුයෙන් මණ්ඩපමාලයක් කරවීමි.
6373. (මිනිස් බැවින් සැවැ) තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියෙම් උතුම් පහයක් ලදිමි. සෙසු දෙවියන් ඉක්මැ බබළමි, පින්කම්හි මේ විපාක යි.
6374. දාවලෙහි හෝ ඉදින් රෑහි හෝ මම් සක්මන් කරනුයෙම් ද, සිටියෙම් ද සලලපුෂ්පයෙන් වැසුණේ වෙමි. මෙ වූකලි පින්කම්හි ඵල යි.
6375. මෙ කප්හි මැ යම් බුදුකෙනෙකුන් පිදුයෙම් ද, දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6376. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජෙකු සෙයින් ආස්‍රව නැතියෙම් වෙසෙමි.
6377. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා එළැඹීමෙක් වියැ, ත්‍රිවිද්‍යාවෝ පිළිවෙළින් එළැඹියහ, බුදුසසුන් කරණ ලද.
6378. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුවදන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
සතරවැනි කිම්බිලස්ථවිරාවදාන යි.
555. වජ්ජිපුත්ත ස්ථවිරාවදානය
6379. ස්වයම්භූ වූ අපරාජිත වූ සහස්‍රරශ්මි වූ (සිද්ධාර්‍ත්‍ථ) භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් (-පලසමවතින්) නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.
6380. අත්හි ඵල ඇති මම් නරශ්‍රේෂ්ඨයන් දැක වෙතැ ගියෙමි. (ගොස්) පහන් සිත් ඇතියෙම් සුමනස් වූයෙම් තුවටුව (-නැට්ට) සහිත ඵලයක් දිනිමි.
6381. එකල්හි එනම්, මෙයින් සූඅනූවන කප්හි යම් ඵලයක් (බුදුරදුනට) දිනිම් ද, දුගතිය නො දනිමි. මේ ඵලදානයාගේ විපාකයි.
6382. මා විසින් කෙලෙස් දවන ලද ... ආස්‍රව නැතියෙම් වෙසෙමි.
6383. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට ඒකාන්තයෙන් ස්වාගත වියැ ... බුදුසසුන් කරණ ලද.
6384. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
පස්වැනි වජ්ජිපුත්ත ස්ථවිරාවදාන යි.
556. උත්තර ස්ථවිරාවදානය
6385. දෙතිස්මහපුරිස් ලකුණෙන් හෙබි භාග්‍යවත් වූ සුමේධ නම් සම්බුදුරජානන් වහන්සේ විවෙක කැමැතිසේක් හිමවතට එළැඹි සේක.
6386. අග්‍ර වූ කාරුණික වූ පුරුෂෝත්තම වූ මුනීන්‍ද්‍රයන්වහන්සේ හිමවතට පිවිස ගෙණ පළක් බැඳ වැඩහුන් සේකි.
6387. එසමයෙහි මම් අහස්හි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි, එකලැ ත්‍රිශූලයක් රැගෙණ අහසින් යමි.
6388. පවුඅග්හි ගින්නක් සෙයින්, පුන්පොහෝ දිනැ සඳ සෙයින්, සුපිපි සල්රුකක් සෙයින් බුදුහු වනය හොබවති.
6389. බුදුරැස් වනගින් නික් මැ (ඔබමොබ) දුවයි, හුණගින්නක් වන් එරැස් දැක (මම්) සිත පහදවාලීමි.
6390. (පුදනට නිස්සක්) සොයනුයෙම් දෙව්සුවඳවහන කිණිහිරිමලක් දිටිමි. මල් තුණක් (නෙලා) ගෙණ (එයින්) බුදුරදුන් පිදීමි.