543. සීවලී ස්ථවිරාවදානය
6076. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්හි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
6077. උන්වහන්සේගේ ශීලය සඞ්ඛ්යා රහිත ය. සමාධිය (බිඳිය නොහැකි බැවින්) වජ්රයක් (දියමන්තියක්) මෙනි. උතුම් වූ ඥානය ද පමණ කළ නො හැකිය. විමුක්තිය ද උපමා රහිත ය.
6078. ලෝකනායක වූ බුදුරජ තෙම මහණ බමුණන්ගෙන් ගැවසී ගත් මිනිස් දෙව් නා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසී ය.
6079. පිරිස්හි විශාරද වූ බුදුරජ තෙමේ පින්වත් වූ පුණ්යශෝභා ඇති මහත් ලාභ ලබන්නා වූ සිය සව්වකු අග්රස්ථානයෙහි තැබී ය.
6080. එකල්හි මම හංසවතී නගරයෙහි ක්ෂත්රියයෙක් වීමි. (එකී) ශ්රාවකයාගේ බොහෝ ගුණ (පවසන) බුදුරජුන්ගේ ඒ වචනය අසා-
6081. ශ්රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා මහදන් දී එම තනතුර පැතීමි.
6082. එකල්හි පුරුෂශ්රේෂ්ඨ වූ මහාවීර වූ (බුදුරජ තෙම) පාමුල වැඳගෙන නැමුනා වූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය කී ය:
6083. ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමැති මහජනයා ද, දිව්යාසුරගන්ධර්වයෝ ද, මහත් ඍද්ධි ඇති බ්රහ්මයෝ ද, -
6084. මහණබමුණෝ ද කරණ ලද ඇඳිලි ඇත්තාහු පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා; පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේව යි වැන්දාහු ය.
6085. ඔබවහන්සේට සතියක් මුළුල්ලෙහි මේ ක්ෂත්රියයා විසින් මහාදානයක් දෙනලදි. මහාමුනීන්වහන්ස ඔහුගේ කර්මවිපාකය අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනැවැ” යි කීහ.
6086-6087. ඉක්බිති භාග්යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: “මාගේ වචනය අසවු. දක්ෂිණා තොමෝ අපමණ වූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහි ද, සඞ්ඝයා කෙරෙහි ද, මැනැවින් පිහිටියා ය. ඒ දක්ෂිණාවගේ (විපාකය) පවසන්නේ කවරෙක් ද? ඕ තොමෝ අප්රමේය වූ විපාක ඇත්තී ය. එතෙකුදු වුවත් මේ මහාභාග්ය ඇති ක්ෂත්රිය තෙමේ උතුම් තනතුරක් පතයි.
6088. මහත්ලාභ ඇතියවුන් අතුරෙන් අග්රලාභී වූ සුදර්ශන භික්ෂු තෙමේ යම්සේ ද, මම ද එසේ ම වෙම්වා (යනු ඔහුගේ පැතුමයි). මතු කාලයෙහි මෙ තනතුර (හෙතෙම) ලබන්නේ ය.
6089. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ, නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6090. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරසපුත්ර වූ නමින් සීවලී නම් ශාස්තෘ ශ්රාවකයෙක් වන්නේ ය.”
6091. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙන ද, චිත්ත ප්රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) එළඹියෙම් වෙමි.
6092. මෙයින් එක් අනූවන කපෙහි මනෝඥ ඇස් ඇති සියලු දතයුතු ධර්මයන් වෙසෙසින් දක්නාසුලු වූ, ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ ලොව පහළ විය.
6093. එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක (නෑයන් විසින් කරණ ලද) දයාව ඇත්තා වූ (දෙමාපියන් විසින්) ප්රාර්ත්ථනා කොට ලබන ලද්දා වූ පුතෙක් ව කර්මාන්තයන්හි ව්යාපෘත විමි.
6094. එකල්හි එක්තරා උපාසක සමූහයක් විපස්සී බුදුරජුන් හට ඉතා ප්රකට වූ මහදනක් පැවැත්වී ය.
6095. මහදන් නිමි කල්හි ද ඛාද්ය වර්ග දෙන්නේ අළුත් දිහි ද මී ද සොයමින් නො ම දිටී.
6096. එකල්හි මම ඒ අළුත් දී හා කැටිමී ද ගෙණ කර්මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. ඒ අළුතු දී හා කැටි මී සොයන්නාහු මා දුටුවාහු ය.