541. ලකුණ්ටකභද්දිය ස්ථවිරාවදානය
6023. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයෙහි විෂය (විනිවිද දක්නා) ඇස් ඇත්තා වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
6024. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් වීමි. ඒ මම ජඞ්ඝාවිහාරයෙහි (සක්මණෙහි) හැසිරෙන්නෙම් සඞ්ඝාරාමයට ගියෙමි.
6025. එකල්හි ලොවට පහන් වූ ලෝකනායක ඒ බුදුරජ තෙම දහම් දෙසී ය. මධුරස්වර ඇතියවුන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයකු පැසසී ය.
6026. එය අසා සතුටු වූයෙම් මහර්ෂි වූ බුදුරජුන්හට සත්කාර කොට ඒ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ ඒ තනතුර පැතීමි.
6027. එකල්හි ශ්‍රේෂ්ඨ නායක වූ බුදුරජතෙම සඞ්ඝයා මධ්‍යයෙහි දී “මතුකාලයෙහි තෙල මනෝරථය සමෘද්ධ වන්නේ ය” යි ප්‍රකාශ කෙළේ ය:
6028. මෙයින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේ ය.
6029. උන් වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් භද්දිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
6030. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
6031-6032. මෙයින් පෙර දෙයානූවන කපෙහි ගුණයෙන් කිසිවකුටත් ගැටිය නො හෙන්නා වූ, මැඩලිය නො හෙන්නා වූ, සව්ලෝ මුදුන් වූ, පස්මරුන් ජයගත්තා වූ (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ, මහත් වූ ඍජු ප්‍රතාපගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළ වි ය. සව්සත්නට හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම බොහෝ ජනයා සසර බැඳුමෙන් මිදී ය.
6033. උන්වහන්සේගේ නන්‍දාරාම නම් රාජෝද්‍යානයෙහි ඵුස්ස නම් වූ කෝකිලයෙක් වීමි. ඒ මම ගඳකිලිය අබියස අඹරුකෙක්හි වසමි.
6034. එකල්හි මම පිඬුපිණිස වඩනා වූ දක්‍ෂිණාර්‍හ වූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬීමි.
6035. එකල්හි රජඋයනට ගොස් රන්වන් වූ පිට සිවි ඇති මොනොවට ඉදුනු අඹගෙඩියක් ගෙණ සම්බුදුරජුන්හට පිරිනැමීමි.
6036. එකල්හි ලෝකනායක වූ මහාකාරුණික වූ බුදුරජතෙම මාගේ අදහස දැන උපස්ථායකයා අතින් පාත්‍රය ගත්තේ ය.
6037-6038. මම සතුටු සිත් ඇත්තෙම් අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපතින් ඇඳිලි බැඳ සිත් අලවන්නා වූ මනෝඥ වූ මිහිරි වූ ශ්‍රවණීය වූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.
6039. එකල්හි බූද්ධාලම්බනප්‍රීතිසහගත සිත් ඇති ප්‍රමුදිත වූ මා වෙත දුෂ්ට සිත් ඇති උකුස්සෙක් පැමිණ මා නැසී ය.
6040. මම එයින් සැව ඒ කර්‍මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභව කොට මිනිසත් බවට පැමිණියෙමි.
6041. මෙම මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති, වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
6042. උන්වහන්සේ සසුන බබුළුවා මිථ්‍යාතීර්‍ත්‍ථයකයන් මැඩ විනෙයජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජානන්වහන්සේ පිරිනිවි සේක.
6043. උන්වහන්සේ පිරිනිවි කල්හි පැහැදුනා වූ බොහෝ දෙන ඒ ශාස්තෲ වූ බුදුරජානන් වහන්සේට පූජා පිණිස සෑයක් කරවත්.
6044. මහර්ෂි වූ බුදුරජුන්හට සත්රුවනින් අලඞ්කෘත වූ සත්යොදුන් සෑයක් කරන්නෙමු’ යි මෙසේ ඔහු මන්ත්‍රණය කරත්.
6045. එකල්හි මම කිකීනම් කාසිරජුගේ සේනාවෙහි නායක ව චෛත්‍යයෙහි ප්‍රමාණය අප්‍රමාණ (විශාල) බව කීමි.
6046. එකල්හි මාගේ වචනය නිසා ඔහු බුදුරජුන්ගේ චෛත්‍යය (සත් යොදුනක් නොව) යොදුනක් උසට නොයෙක් රත්නයෙන් අලඞ්කාර කොට කළාහුය.
6047. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.