532. වක්කලි ස්ථවිරාවදානය
5689. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ අලාමක වූ නම් ඇති අපමණ ගුණ ඇති නමින් පදුමුත්තර වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
5690. උන්වහන්සේ පියුමකට බඳු මුහුණ ඇතියහ. පියුමක් සේ නිමල මනා සිවි ඇතියහ. ජලය හා (නො ගැටෙන) පියුම් මෙන් ලෝකය හා නො ම ගැටෙන්නාහ.
5691. වීරයහ. පියුම්පෙති බඳු ඇස් ඇතියහ. පියුමක් මෙන් කාන්තයහ. උතුම් පියුම් සුවඳ බඳු සුවඳ ඇතියහ. එබැවින් උන්වහන්සේ පදුමුත්තර නම් වනසේක.
5692-5693. ලෝකජ්යේෂ්ඨ වූ මාන රහිත වූ අන්ධයනට ඇසක් වැනි වූ ශාන්ත වේශ ඇති ගුණනිධාන වූ කුළුණු නැණ සයුරෙක් වූ බඹ අසුර සුරන් විසින් පුදන ලද දෙවියන් සහිත මිනිසුන් විසින් පිරිවරණ ලද අතිඋත්තම වූ ඒ මහාවීර වූ බුදුරජානෝ කිසියම් දිනෙක ජනමධ්යයෙහි-
5694. සුවඳවත් මුවින් මියුරු වූ හඬින් සියලු පිරිස් රඳවමින් සියසව්වකු (මෙසේ) වැණූ සේක:
5695. “පිහිටි සැදැහැ ඇති මනා නුවණැති මා දැකුමෙහි ලොල් වූ මේ වක්කලී භික්ෂුනම බඳු අන් භික්ෂුනමක් නැත” කියා යී.
5696. එකල්හි මම හංසවතී නගරයෙහි බ්රාහ්මණපුත්රයෙක් ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා ඒ තනතුර රුචි කෙළෙමි.
5697. එකල්හි ශ්රාවකසඞ්ඝයා සහිත ඒ නිර්මල බුදුරජුන් පවරා සතියක් (බොජුන්) වළඳවා (චීවර) වස්ත්රයෙන් හැඳවීමි.
5698. උන්වහන්සේගේ අනන්ත වූ ගුණසයුරෙහි සිරසින් හෙව ගිළුනෙම් ප්රීතියෙන් සම්පූර්ණ වූයෙම් මේ වදන් කීමි:
5699. “මුනින් වහන්ස, මෙයින් සත්වැනි දිනයෙහි යම් ඒ භික්ෂුනමක් සැදැහැතියනට අග්රය යි මුබ වහන්සේ විසින් පසස්නා ලද ද, මම ද එබන්දෙක් වෙමි” යි (කියා යි).
5700. මෙසේ කී කල්හි මහාවීර වූ අනාවරණඥානදර්ශන ඇති බුදුරජහු පිරිස්හි මෙ ම වචනය වදාළහ:
5701. “රන්වන් පුනනූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ගන්නා වූ, කසාවත් හඳනා වූ මේ මාණවකයා බලවු.
5702. මෙතෙම මතුකාලයෙහි ගෞතම බුදුරජුන්ගේ සද්ධාධිමුත්ත (බලවත් සැදෑ ඇති) යනට අග්ර වූ ශ්රාවකයා වන්නේ ය.
5703. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ සියලු තැවුලින් බැහැර වූයේ හැම භෝගසම්පත්තීන්ගෙන් ආඪ්ය ව සුවපත් වූයේ සසර සැරිසරන්නේ ය.
5704. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5705. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත වූවාක් වැනි වූ ඖරස වූ නමින් වක්කලී නම් වූ ශාස්තෘශ්රාවකයෙක් වන්නේ ය.”
5706. මම ඒ කර්ම විශේෂය හේතුකොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5707. මම සියලු තන්හි සුව ඇත්තෙම් කුදුමහත් භවයෙහි සැරිසරනෙම් සැවැත් නුවර එක්තරා කුලයක උපන්නෙම් වෙමි.
5708-5709. වෙඬරු මෙන් සිවුමැලි වූ අසෝකදළු මෙන් මොළොක් වූ ලදරු උඩුකුරු ව හෝනා මා පිසාචියක් බියෙන් තැතිගැන්විය. දුක්පත් සිත් ඇති දෙමාපියෝ “නාථයන් වහන්ස, මුබවහන්සේට මුන් දෙමු. නායකයන් වහන්ස, පිහිට වනු මැනැවැ”යි මහර්ෂි වූ බුදුරජුන්ගේ පාමුල මා හොවා ලූහ.
5710. එකල්හි බිය පත් වූවනට පිහිට වූ ඒ බුදුරජ තෙම ජාලාඞ්ගුලි ඇති සක්ලකුණුයුත් මෘදුකොමලහස්තයෙන් මා පිළිගත්තේ ය.
5711. මම එතැන් පටන් අරක්ඛෙය්ය වූ (කිසිවකු විසින් නො රැකිය යුතු) ඒ බුදුහු විසින් රැකුණෙම් සියලු පසමිතුරන්ගෙන් මිදුනෙම් සුවයෙන් වැඩුනෙමි.
5712. මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන් වූයෙම් උකටලී වෙමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්ය්ය සඞ්ඛ්යාත පැවිද්දට වන්මි.