517. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
5493. හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එහි) කඳු අතරෙහි සුදස්සන නම් බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
5494. මම හිමවතෙහි හටගත් මල් ගෙණ අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් දිටිමි.
5495. කෙළිඳ මල් ගෙණ හිස ඇඳිලි බැඳ සියල්ල තෙමේම දත් මහර්ෂි වූ බුදුරජුන් හට පිදීමි.
5496. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5497. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5498. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5499. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුටජපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනියි.
518. ඝෝසසඤ්ඤක ස්ථවිරාවදානය
5500-5501. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. කෙලෙස් රජස් විරහිත, දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද, චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නා වූ අමාපදය දෙසන්නා වූ බුදුරජුන් දිටිමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.
5502. අසම වූ අප්‍රතිපුද්ගල වූ (බුදුරජුන්) කෙරෙහි ද (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහි ද සිත පැහැද වීමි. එහි සිත පහදවා තරණය කිරීමට දුෂ්කර වූ භවය තරණය කෙළෙමි.
5503. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් සංඥාවක් ලදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මඝෝෂසංඥාවෙහි මේ විපාක යි.
5504. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5505. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5406. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝෝසසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝොසසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
519. සබ්බඵලදායක ස්ථවිරාවදානය
5505. එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි නමින් වරුණ නම් වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනකු හැර දමා වනයට පිවිසියෙමි.
5506. මම මනා බෙදුම් ඇති අසපුවක් සාදා පන්සැලක් ද කොට වනයෙහි වෙසෙමි.
5507. ලෝකයාගේ පූජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුරජ තෙම මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණියේ ය.
5508. බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් මුළු වන ලැහැබෙහි මහත් වූ ආලොකයෙක් වී. එකල්හි වනය ඇවිලගත්තාක් බඳු විය.
5509. මම තාදීගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළගොටුවක් ගෙණ ඵලයෙන් පිරවීමි.
5510. මම බුදුරජුන් වෙත එළඹ කොළගොටුව සහිතව ම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළේ ය:
5511. “තෝ ඛාරිහාරිය හෙවත් පලගොටුව රැගෙන මා පස්සෙන් එව. සඞ්ඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේ ය.” (කියායි).
5512. මම ඒ (පල) ගොටුව ගෙණ භික්‍ෂුසඞ්ඝයාට දුනිමි. එහි මම සිත පහදවා තුසිතදිව්‍යලෝකයෙහි උපනිමි.
5513. එම දිව්‍යලෝකයෙහි දිව්‍යමය වූ නෘත්‍යයෙන් වාද්‍යයෙන් ගීතයෙන් කුශලකර්‍මය සමග යෙදුනු සුවය හැම කල්හි විඳිමි.
5514. දිව්‍ය වූ ද යලි මනුෂ්‍ය වූ ද යම් යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
5515. මම බුදුරජුන්හට ඵල (දානය) දී සමුද්‍ර සහිත වූ පර්‍වත සහිත වූ සිවුමහදිවයින් යම් පමණ නම් (එ පමණ තන්හි) මාගේ ආධිපත්‍යය කරමි.
5516. මේ පක්‍ෂිසමූහයෝ යම්තාක් අහස් නැගයෙත් ද, ඔහු ද මාගේ වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යී.