509. තාලඵලදායක ස්ථවිරාවදානය
5442. සියල්ල තෙමේ ම අවබෝධ කරගත් පස්මරුන් දිනූ සතරංසී නම් භාග්‍යවත් (පසේබුදු?) තෙම විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩියේ ය.
5443. මම (උන්වහන්සේ) දැක පල ගත් අත් ඇත්තෙම් නරාසභයන් වහන්සේ වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල් පලයක් දුනිමි.
5444. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5445. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5446. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5447. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලඵලදායකස්ථවිරාවදානය නවවැනියි.
510. නාළිකෙරදායක ස්ථවිරාවදානය
5448. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩනා වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5449. මම නාළිකෙරඵලයක් (-පොල්ගෙඩියක්) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජ තෙමේ අහසෙහි සිටියේ ම එය පිළිගෙණ වදාළේ ය.
5450. මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොව්හි දී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරජුන්හට දී -
5451. එකල්හි මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ තන්හි උපන් මට රුවන් පහළ වේ.
5452. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් (නාළිකෙර) ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5453. මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂ වීමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් ද වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5454. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5455. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5456. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් නාළිකේරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාළිකේරදායකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
කණිකාර ඒකපත්ත කාසුමාරි අවට ද
වාරඵල මාතුලුඞ්ග අජෙල ද මෝදඵල,
තාල නාළිකෙරදැයි මෙසෙයින් ගා ගිණූ මෙහි.
අඩු වැඩි නැතිව ම එගා එක් සියෙක් වේ.
කණිකාරවර්‍ගය එක්පණස් වැනියි.
52. ඵලදායක වර්‍ගය
511. කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය
5457. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ මුව වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පත් කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5458. මම කුරඤ්ජිය ඵලයක් ගෙණ වීර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5459. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.