504. අවටඵලිය ස්ථවිරාවදානය
5414. පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කළ දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවෙක (සමාධි) යෙන් නැගිට පිඬු පිණිස නික්මුණේ ය.
5415. (එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම ඵල ගත් අත් ඇත්තෙම් උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයේ අවට ඵලයක් දුනිමි.
5416. මෙයින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5417. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5418. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5419. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අවටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවටඵලියස්ථවිරාවදානය සිවුවැනියි.
505. වාරඵලිය ස්ථවිරාවදානය
5420. මම වීථියට පිළිපන් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් හට වාරඵලයක් දුනිමි.
5421. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5422. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5423. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5424. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වාරඵලියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාරඵලියස්ථවිරාවදානය පස්වැනියි.
506. මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය
5425. පණුරැසි දිනයෙහි සඳු මෙන් බබලන්නා වූ කිණිහිරි රුකක් වැනි වූ ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් දිලෙන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
5426. මම නාරන් ගෙඩියක් ගෙණ දක්‍ෂිණාර්‍හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5427. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.