502. ඒකපත්තදායක ස්ථවිරාවදානය
5396. මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙන් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5397. මම මැනැවින් කරණලද මැටිපයක් (=පාත්‍රයක්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි. (කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ තාදීගුණ ඇති බුදුරජුන්හට පාත්‍රය දී-
5398. භවයෙහි උපන්නා වූ මම රන්තලි ලබමි. රජතමය වූ ස්වර්‍ණමය වූ මණිමය වූ තැටි ද-
5399. භාජන පරිභෝග කරමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි. මම යශසට ද ධනයට ද පාත්‍ර (හිමි) වූයෙම් වෙමි.
5400. යම් සේ සොඳුරු කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජය මැනැවින් වැසි ලැබෙන කල්හි සස්‍යඵලය ගොවියා සතුටු කෙරේ ද,
5401. එසේ ම බුද්ධක්‍ෂේත්‍රයෙහි රෝපණය කරණ ලද මෙම පාත්‍රදාන බීජය ප්‍රීතිධාරා වස්නා කල්හි (විපාක) ඵලය මා සතුටු කරන්නේ ය.
5402. සඞ්ඝයා වූ ද ගණයා වූ ද යම්තාක් (පුණ්‍ය) ක්‍ෂේත්‍රයෝ විද්‍යමාන වෙත් ද, සව්සත්නට සුව දෙන්නා වූ බුද්ධක්‍ෂේත්‍රය සමාන කෙතක් (නම්) නැත.
5403. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. එක පාත්‍රයක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5404. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් පාත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාක යි.
5405. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5406. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5407. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකපත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපත්තදායක ස්ථවිරාවදානය දෙවැනියි.
503. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
5408. කඳු අතරෙහි වැඩ හුන්නා වූ (පිපී ගිය) කිණිහිරිරුකක් සේ බබලන (කෙලෙස්) රජස් විරහිත ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
5409. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිස ඇඳිලි බැඳ කටුඑරමිණිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5410. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කටුඑරමිණිය ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
5411. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5412. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5413. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
504. අවටඵලිය ස්ථවිරාවදානය
5414. පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කළ දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවෙක (සමාධි) යෙන් නැගිට පිඬු පිණිස නික්මුණේ ය.
5415. (එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම ඵල ගත් අත් ඇත්තෙම් උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයේ අවට ඵලයක් දුනිමි.
5416. මෙයින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.