466. අවණ්ටඵලිය ස්ථවිරාවදානය
4889. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ඒකී භාවය කැමැති සතරංසී නම් (පසේ) බුදු භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නික්මුණු සේක.
4890. අතින් ගත් ඵල ඇති මම බුදුරජුන් දැක වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එ ම අවණ්ටඵලය උන්වහන්සේට දුනිමි.
4891. එකල්හි මෙයින් සිවුඅනූ වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4892. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4893. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4894. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අවණ්ටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවණ්ටඵලිය ස්ථවිරාවදානය සවැනි යි.
467. ලබුජදායක ස්ථවිරාවදානය
4895. එකල්හි (මම) බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමක වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දුටිමි.
4896-4897. මම දෙල්පලයක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මෙලෙව්හිදී ම සුව ගෙන දෙන්නා වූ මහත් යශස් ඇති බුදුරජානන් වහන්සේ අහසෙහි ම සිටි සේක් එය පිළිගත්හ. පැහැදි සිතින් (එම) පලය බුදුරජුන්හට දී,
4898. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ මට රුවන් ද උපදී.
4899. මෙයින් එක්අනූ වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4900. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4901. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4902. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ලබුජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ලබුජදායකස්ථවිරාවදානය සත්වැනි යි.
468. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
4903. වනයෙහි දි මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලඵලයක් උන්වහන්සේට දුනිමි.
4904. අටළොස්සිය වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යී.
4905. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4906. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4907. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පිලක්ඛඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිලක්ඛඵලදායකස්ථවිරාවදානය අටවැනි යි.