455. අක්කමනදායක ස්ථවිරාවදානය
4823. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ දිවා විහරණයෙහි හැසිරෙන්නා වූ කකුසඳ බුදුරජුන්හට මම ආක්‍රමනයක් (පාපුවරුවක්) දුනිමි.
4824. මෙම කල්පයෙහි ම වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාපුවරු දනෙහි මේ විපාක යි.
4825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
4826. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4827. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අක්කමනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අක්කමනදායකස්ථවිරාවදානය පස්වැනි යි.
456. වනකොරණ්ඩිය ස්ථවිරාවදානය
4828. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ව බුදුරජානන් වහන්සේට වනකරඬු (මලක්) ගෙණ පිදීමි.
4829. මෙයින් සිවුඅනූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4830. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
4831. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4832. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වනකොරණ්ඩියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වනකොරණ්ඩියස්ථවිරාවදානය සවැනි යි.
විසිවැනි බණවර යි.
457. ඒකඡත්තිය ස්ථවිරාවදානය
4833. පෘථිවී තොමෝ අඟුරු වී ය. මහී තොමෝ උණුඅළු සහිත වී ය. පදුමුත්තර බුදුරජ තෙමේ එළිමහනෙහි සක්මන් කළේ ය.
4834. මම සේසත ගෙණ මඟට පිළිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක මට ප්‍රීතිය ඇති විය.