451. ජගතිදායක ස්ථවිරාවදානය
4797. මම පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, ධම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂය (පිහිටි තන්හි) බිම කරවීමි.
4798. මම පර්‍වත විවරයකින් වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි වැටුනෙම් පිහිටක් ලබමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4799. සොරු මාගේ (වස්තුව) පැහැර නො ගණිත්. රජ තෙම (මට) අවමන් නො කෙරේ. සියලු පසමිතුරන් ඉක්මවමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4800. දිව්‍ය වේවයි මනුෂ්‍ය වේවයි යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු තන්හි පුදන ලදුයෙම් වෙමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4801. මම අටළොස්සියවන කපෙහි පොළෝ (සකස්) කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4802. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4803. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4804. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ජගතිදායකස්ථවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
452. මොරහත්‍ථිය ස්ථවිරාවදානය
4805. මම මොණරපිල්වැටියක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියෙමි. එළඹ මොණරපිල්වැටිය පිදීමි.
4806. මෙම මොණරපිල්වැටී දන හේතුකොටගෙන ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙන ද ත්‍රිවිධාග්නීහු (රාග - ද්වේෂ - මෝහ) නිවී ගියහ. මහත් වූ සැප ද ලබමි.
4807. බුදුවරයෝ ආශ්චර්‍ය්‍යයහ. (නෛර්‍ය්‍යාණික) ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යයෙකි. මම මොණර පිල්වැටියක් දී මහත් සුව ලබමි.
4808. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
4809. එකල්හි මෙයින් එක්තිස් වන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මොණරපිල්වැටි දනෙහි මේ විපාකයි.
4810. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4811. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන්වහන්සේගේ සසුන කරණ ලදි.
4812. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මොරහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මොරහත්‍ථිය ස්ථවිරාවදානය දෙවැනි යි.
453. සීහාසනවීජක ස්ථවිරාවදානය
4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධීවෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.
4814. මම මෙයින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පවන්සැලීමෙහි මේ විපාක යි.
4815. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.