414. මධුමංසදායක ස්ථවිරාවදානය
4373. මම බන්ධුමතී නගරයෙහි හුරුවැද්දෙක් වීමි. කැවුතු පපුමස් පිස ඒ මසෙහි මීපැණි වත් කෙළෙමි.
4374. මම භික්ෂූන් රැස් වන (ශාලාවට) ගොස් එක් පාත්රයක් ගතිමි. මම ඒ පාත්රය මසින් පුරා භික්ෂුසඞ්ඝයාට දුනිමි.
4375. යමෙක් මේ භික්ෂුපිරිසෙහි වෘද්ධතර ස්ථවිර වී ද, හේ මට පින් දුන්නේ ය. “පාත්රය පුරවා දුන් මේ දනින් මහත් සුව ලබාවා.”
4376. මේ කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්ය මනුෂ්ය) ද්විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලේශයන් දවන්නේ ය” (කියායි.)
4377. මම එහි හිත පහදවා තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි (දිවබොජුන්) අනුභව කොට (දිවපැන්) පානය කොට මහත් වූ සුව ලබමි.
4378. මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ (හිඳ) පූර්වකර්මය සිහි කෙළෙම් ද, එකෙණෙහි මට ආහාර පාන වැසි වසී.
4379. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය පවතී. මෙහි දු මට හැම කල්හි ආහාර පාන (වැසි) වසී.
4380. මම ඒ මාංසදානය කරණ කොට ගෙණ භවයෙහි සැරිසරා සියලු ආස්රවයන් ප්රහාණ කොට ආස්රව රහිතව වෙසෙමි.
4381. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
4382. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4383. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4384. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් මධුමංසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මධුමංසදායක ස්ථවිරාවදානය සිවුවැනි යී.
415. නාගපල්ලවක ස්ථවිරාවදානය
4385. මම බන්ධුමතී නගරයෙහි රජඋයනෙහි වෙසෙමි. මාගේ අසපුව සමීපයෙහි ලෝකනායක වූ බුදුරජහු වැඩහුන් සේක.
4386. මම නාදලු ගෙණ බුදුරජුන් පිදීමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.
4387. මෙයින් එක් අනූවන කපෙහි යම් නාදලු පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යී.