411. භද්දාලි ස්ථවිරාවදානය
4268. මෝනෙය්යගුණ යුත් අග්රකාරුණික වූ ලොකාග්ර වූ සුමේධ නම් සර්වඥ තෙමේ විවෙක සුව කැමැත්තේ හිමවතට එළඹියේ ය.
4269. පුරුෂෝත්තම වූ සුමේධ නම් ලෝකනායක තෙම හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්නේ ය.
4270. ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනේ ය. පුරුෂෝත්තම වූ සර්වඥ තෙම රෑ දාවල් සතක් (සතියක්) එසේ වැඩ හුන්නේ ය.
4271. පිරිකර කද ගෙණ මම වනයට පිවිසියෙමි. එහි දී චතුරෝඝයන් තරණය කළා වූ සම්බුදුරජුන් දිටිමි.
4272. මුස්න ගෙණ අසපුව හැමද චතුදණ්ඩය (=එකට බැඳ සාදා ගත් දඬුසතර) සිටුවා එකල්හි මණ්ඩපයක් කෙළෙමි.
4273. මම සල්මල් ගෙණවුත් මඩුව සෙවෙනි කෙළෙමි: පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැන්දෙමි.
4274. මහා ප්රාඥ වූ උතුම් නුවණැති යමකුට සුමේධ යයි කියත් ද, ඒ සුමේධ බුදුරජ තෙම භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය.
4275. බුදුරජුන්ගේ හඬය යි දැන “නිසැකව ම පසැස් ඇති බුද්ධශ්රේෂ්ඨ තෙම දහම් දෙසා” ය යි දෙවියෝ රැස් වූහ.
4276. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ නම් සර්වඥ තෙමේ දිව්යසමූහයා මැද වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
4277. “යමෙක් තෙම සල්මලින් සෙවෙනි කළ මඩුවක් සතියක් මුළුල්ලෙහි මා පිණිස දැරී ද, හේ (කවරෙක්දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
4278. මෙතෙම දෙවි වූයේ ද ස්වර්ණවර්ණ වන්නේ ය. සම්පූර්ණ භෝගසම්පත් ඇත්තේ ම කම්සුව අනුභව කරන්නෙක් වන්නේ ය.
4279-4280. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු ගත් අත් ඇති, ඇතරුවන් විසින් නගින ලද සියලු ආභරණයෙන් සරසන ලද සැට දහසක් ඇත්තු ද, හෙම් වැනි වත් හැඳ වූ රන්පොරොදු බැඳි ඇත්තු ද මේ මිනිස්හට උදේ සවස උවැටනට පැමිණෙන්නාහු ය. මේ මිනිස් තෙම ඒ ඇතුන් විසින් පිරිවරන ලදුව රමණය කරන්නේ ය.
4281-4282. කඩු හා දුනු දරන්නා වූ යෝධාජීවයන් විසින් නගින ලද ජාතියෙන් ම ආජානීය වූ ශීඝ්රගාමී වූ සියලු අබරණින් සරසන ලද සැට දහසක් සෛන්ධව අශ්වයෝ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4283-4284. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ යෝධාජීවයන් විසින් නගින ලද ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්යාඝ්රසමින් වළඳන ලද රථ දැ යි මෙසේ සර්වාලඞ්කාරයෙන් සරසන ලද සැට දහසක් රථයෝ මොහු නිතර පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4285. සර්වාකාරයෙන් සම්පූර්ණ වූ ධනධාන්ය ඇති හැම අයුරින් ම මැනවින් සමෘද්ධ වූ සැට දහසක් ග්රාමයෝ හැම කල්හි පහළ වන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4286. ඇත් අස් රිය පාබළ යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4287. (මෙ තෙම) අටළොස් සියක් කප් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
4288. තුන්සිය වරක් දිව්යරාජ්යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4289. මෙයින් තිස්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
4290. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්රයෙක් ව ආස්රව රහිත ව සියලු ආස්රවයන් (ප්රහාණපරිඥා වශයෙන්) දැන වාසය කරන්නේ ය”
4291. මෙයින් කල්ප තිස් දහසකට පෙර ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. (එදින පටන් අද දක්වා) මේ අතුරෙහි අමෘතපදය - නිවන සෙවීමි.
4292. යම් බුදුසසුනක් මම දැනගනිම් ද, එය මට ලාභයකි. මා විසින් එය මනා කොට ලබන ලදි. (මා විසින්) පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇතියහ, බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4293. පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සර්වඥතාඥානයට පසසා අමෘතපදය හෙවත් නිවනට පැමිණියෙම් වෙමි.
4294. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් භවයක උපදිම් නම් හැම තන්හි සුව ඇත්තෙම් වෙමි. සර්වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.