407. හේමක ස්ථවිරාවදානය
4072. එකල්හි අනෝම නම් තවුසෙක් තෙම පර්‍වතප්‍රාන්තයක් ඇසුරු කොට මනා අසපුවක් කොට ඒ පන්සලෙහි විසී ය.
4073. ඔහුගේ තපෝකර්‍මය සිද්ධිප්‍රාප්ත ය. ස්වකීය ධ්‍යානබලයෙහි ද සිද්ධිප්‍රාප්ත ය. ස්වීය ශ්‍රාමණ්‍ය ගුණයෙන් මැඩ පවත්වන ලද කෙලෙස් ඇත්තෙක. කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඍෂිවරයෙක.
4074. විශාරදයෙක. ස්වසමය පරසමයයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට වූවෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
4075. එකල්හි පහ වූ ශෝක ඇති ආරම්භ රහිත වූ ස්වල්පාහාරයකින් යැපෙන ලොල්බව නැති ලාභාලාභ දෙක්හි (සමව) සතුටු වන ධ්‍යානයෙහි ඇළුනා වූ මෝනෙය්‍ය ගුණ යුතු,
4076. සර්‍වඥ වූ අග්‍රකාරුණික වූ පියදස්සී නම් බුදුරජ තෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතෙර කරනු කැමැත්තේ මහාකරුණාව පැතිර වී ය.
4077. පියදස්සී බුදුරජ තෙමේ ධර්‍මාවබෝධයෙහි සමතකු දැක සක්වළ දහසකට වුව ද ගොස් (ඒ විනෙයජනයනට) අවවාද කරයි.
4078. ඒ බුදුරජ තෙම මා සසර සයුරින් ගොඩ ලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩියේ ය. මා විසින් (ඊට) පෙර බුදුරජ තෙම නො දක්නා ලදී. කිසිවකුගෙන් (උන්වහන්සේ ගැන) නො අසන ලද්දෙම් ද වෙමි.
4079. මට උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් ප්‍රකාශිතයහ. මම පොළොවෙහි හා අහසෙහි පතළ වූවෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හි ද දක්‍ෂ වෙමි.
4080. මම බුදුරජුන්ගේ (තොරතුරු) අසා උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වීමි. අනුභව කරන්නේ ද, හුන්නේ ද, නිතිකල් (උන්වහන්සේ ම) සිහි පත් කරමි.
4081. මෙසේ මා උන්වහන්සේ සිහි කරණ කල්හි බුදුරජානන් වහන්සේ ද මා සිහි කළ සේක. බුදුරජානන් වහන්සේ සිහිපත් කරන්නාවූ මට එකෙණෙහි ප්‍රීතිය ඇති විය.
4082. නැවත සුදුසු කාලය ද එළඹ බුදුරජ තෙම මා සමීපයට වැඩියේ ය. (එසේ) වැඩි කල්හි දු “මේ මහාමුනි වූ බුදුරජ තෙමේ” ය යි මම නො දනිමි.
4083. (සත්ත්‍වලෝකයට) අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ පියදස්සී මහාමුනි තෙම “මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැ” යි තෙමේ ම දැන්වීය.
4084. මහාමුනි වූ ‘පියදස්සී’ බුදුරජුන් ය යි හැඳින සිය සිත පහදවා මේ වචනය කීමි:
4085. අන්‍යයෝ පුටුවෙහි ද පලඟෙහි ද දික්සඟලාහි ද හිඳිත්. සියල්ල දක්නා වූ බුදුරජානන් වහන්ස (ඔබ ද) රුවන් අසුනෙහි හිඳිනු මැනව.
4086. මෙසේ කියා එකෙණෙහි සියල්ල රුවන්මුවා පුටුවක් මවා ඍද්ධියෙන් නිර්මිත වූ ඒ පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
4087. ඍද්ධියෙන් නිර්මිත කරණ ලද රුවන්පුටුවෙහි වැඩ හුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණ වූ ජම්බුඵලයක් දුනිමි.
4088. බුදුරජ තෙම මාගේ සතුට උපදවමින් (එය) වැළඳීය. එකල්හි සිත පහදවා ශාස්තෲන් වහන්සේ වැන්දෙමි.
4089. ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ රුවන් අසුනෙහි වැඩහුන්නා වූ පියදස්සී භාග්‍යවත් තෙමේ මේ ගාථාවන් වදාළේ ය:
4090. “යමෙක් මට රුවන්මුවා පුටුවක් ද, අමා වැනි (දඹ) ඵලයක් ද දුන්නේ නම් හේ (කවරෙක් දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු:
4091. (මෙ තෙම) සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පන්සැත්තෑ වරක් සක්විති රජ ද වන්නේ ය.
4092. දේවේන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ලබන්නා වූ ප්‍රදේශරාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
4093. රන්මුවා වූ ද රිදීමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද රුවන්මුවා වූ ද මැනැවින් කළ පර්‍ය්‍යඞ්ක ලබන්නේ ය.