402. පුණ්ණක ස්ථවිරාවදානය
3919. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේබුදුහු හටගත් ආබාධ ඇත්තාහු පර්වතකූට පබ්භාරයක් ඇසුරු කොට පර්වත අතරෙහි වැඩ වෙසෙන සේක.
3920. එකෙණෙහි මාගේ අසපුව හාත්පස මහත් වූ නාදයෙක් විය. බුදුන් පිරිනිවන් පානා කල්හි ආලෝකය පහළ විය.
3921. එකෙණෙහි මුළු වනලැහැබෙහි වලස් වෘක කළුහිස්වලස් ව්යාඝ්ර සිංහ යන සියලු සත්ත්වයෝ නාද කළාහු ය.
3922. මම ඒ භූතවිකෘතිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ සම්බුදුරජුන් දිටිමි.
3923. සුපිපි සල්රුකක් වැනි, උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු (රැසක්) වැනි පිරිනිවියා වූ බුදුරජුන් (උදෙසා)-
3924. මම එහි තණ ද දර ද පුරවා චිතකයක් කෙළෙමි. ඒ චිතකය මැනැවින් කොට (බුද්ධ) ශරීරය දැවීමි.
3925. සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්ෂයෙක් මට නමක් තැබීය:
3926. “සියල්ල තෙමේ ම අවබෝධ කරගත් බුදුරජුන්ට යම් (ආදාහන) කෘත්යයක් තා විසින් සම්පූර්ණ කරණ ලද ද, මුනිවරය, ඔබ හැමකල්හි නමින් පුණ්ණක නම් වෙව” යී.
3927. මම ඒ අත්බැවින් ච්යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්යමය සුවඳ හමයි.
3928. එකල්හි එහිදී ද මාගේ නම ‘පුණ්ණක’ නම් විය. දෙවි වූයේ ද මිනිස් වූයේ ද (මාගේ) අදහස් සම්පූර්ණ කරමි.
3929. මේ මාගේ (සසරෙහි) අවසානය යි. (දැන් මේ) අන්තිම භවය පවතී. මෙහි දී ද පූර්ණක නාමය ප්රකාශ වේ.
3930. ශාක්යකුලශ්රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට සියලු ආස්රවයන් (ප්රහාණපරිඥා වශයෙන්) දැන ආස්රව රහිතව වෙසෙමි.
3931. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ශරීරාදාහන කෘත්යයාගේ මේ විපාක යි.
3932. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. අනාස්රව වූයෙම් වෙසෙමි.
3933. බුද්ධශ්රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3934. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුණ්ණක ස්ථවිරාවදානය දෙවැනි යි.
403. මෙත්තගු ස්ථවිරාවදානය
3935. හිමවතට නුදුරෙහි අසෝක නම් පර්වතයෙක් විය. එහි මට විශ්වකර්මයා විසින් මවන ලද ආශ්රමයෙක් විය.
3936. අග්රකාරුණික වූ සුමේධ නම් සර්වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹියේ ය.
3937. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සුමේධ බුදුරජුන් (දැක) සුගතපාත්රය ගෙණ ගිතෙලින් පිරවීමි.
3938. මම ලෝකනායක වූ සුමේධ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි එය පිළිගන්වා ඇඳිලි බැඳගෙණ වැඩියක් ම සතුට ඉපදවීමි. (මෙසේ ද පැතීමි.)
3939. “මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද දෙවි වූයේ හෝ මනුෂ්ය වූයේ හෝ මහත් වූ සැප ලබමි.
3940. දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. එහි සිත පිහිටුවා අමෘතපදය ලබමි” (කියායි).