398. සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය
3821. වැස නිමවන ලද බඹසර ඇති, බහා තබන ලද පව් ඇති, කකුසඳ බුදුරජුන් පිරිනිවි කල්හි මම සලල මල් ගෙණ මණ්ඩපයක් කරවීමි.
3822. (ඒ පිනින්) තව්තිසා දෙව්ලොවට ගියෙම් උතුම් විමනක් ලබමි. අනෙක් දෙවියන් මැඩගෙන බබළමි. පුණ්යකර්මයාගේ මේ විපාක යි.
3823. ඉදින් දවල් හෝ රාත්රි හෝ සක්මන් කරන්නා වූ ද සිටියා වූ ද මම සලල මල්වලින් වැසුනෙම් වෙමි. පුණ්යකර්මයාගේ මේ විපාක යි.
3824. මේ කපෙහි ම යම් බුදුවරයකු පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්රවයෝ ක්ෂය කරන ලදහ. දැන් යලි ඉපැදීමෙක් නැත. ආස්රව රහිතව වෙසෙමි.
3826. බුද්ධශ්රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
3827. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සල්ලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය අටවැනි යි.
399. සබ්බදායක ස්ථවිරාවදානය
3828-3830. මහසමුදුර සමීපයෙහි මට භවනයක් මැවිනි. (ඒ අසල) සක්වාරැව් ඇති මන්දාලක මලින් හා පියුමින් හා උපුලින් හා ගැවසීගත් පොකුණක් මැවිනි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නන් විහගගණා ඇති නදියක් ගලා බස්නීය. එහි මොණර හා කොස්වාලිහිණි කොවුල් ආදි පක්ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
3831. පරෙවි, රවිහංස, සක්වා ලිහිණි, (ගඞ්ගාවන්හි හැසිරෙන) නදීචර, දියකිරල, සැළලිහිණි උණහපුළු (ජීවජීව අනුකරණයෙන් හඬන්නාවූ) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
3832-3833. එහි රැව් දෙන හංසයෝ ද, කොස්වා ලිහිණියෝ ද, බකමුහුනෝ ද, පිඞ්ගලයෝ ද, යන මේ පක්ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණි මුතු සහිත වැලි ද, නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද, ඒ භවනය දිව රෑ හැමකල්හි බබුලුවත්.
3834. සැටදහසක් තූර්ය්යයෝ සවස්හි ද උදාසන්හි ද වැයෙත්. හැම කල්හි සොළොස් දහසක් ස්ත්රීහු මා පිරිවරත්.
3835. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
3836. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත ඒ බුදුරජුන් නිමන්ත්රණය කෙළෙමි. (මාගේ නිමන්ත්රණය) ලෝකනායක වූ ප්රාඥ වූ ඒ බුදුරජ තෙම ඉවසී ය.
3837. බුදුරජ තෙම මට ධර්මකථාවක් කොට (මා පින්දහම්හි) යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.
3838. “පෙරවරු කල්හි බුදුරජ තෙම මාගේ භවනයට වඩනේ ය. තෙපි සියල්ලෝ රැස්වවු” ය යි පිරිවර ජනයාට ඇමතීමි.
3839. “යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද, ඒ අපට මනා ලැබීමෙකි. යහපත් ලාභයෙකි. අපි දු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු” යි.
3840. මම ආහාර-පාන පිළියෙල කොට තබා කාලය දැන්වීමි. ලෝකනායක වූ බුදුරජ තෙම රහතුන් සියදහසක් සමඟ වැඩියේ ය.
3841. මම පසඟතුරු සහිතව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම සියල්ල රුවන්මුවා වූ පුටුවෙහි වැඩහුන්නේ ය.
3842. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. බික්සඟන අතුරෙහි විජිනිපත්හු පවන් සලත්.
3843. බොහෝ වූ ආහාරපානයෙන් භික්ෂුසඞ්ඝයා සන්තර්පණය කෙළෙමි. මම වෙන වෙන ම වස්ත්ර යුග්මය බැගින් බික්සඟනට දිනිමි.
3844. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ ය යි යමකුට කියත් ද, (ඒ බුදුරජ තෙම) භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
3845. “යමෙක් මා ද මේ සියල්ලන් ද ආහාරයෙන් හා පානයෙන් තෘප්ත කෙළේ නම් හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3846. (හෙතෙම) අටළොස්සියක් කප් දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් සක්විති රජ ද වන්නේ ය.
3847. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් උපතකට යේ ද, හැමදා සර්වස්වර්ණමය වූ වියනක් දරන්නේ ය.
3848. තිස්දහස් කපකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.