392. සෙල ස්ථවිරාවදානය
3581. මම හංසවතී නගරයෙහි විථීස්‍වාමියෙක් (වීදියක ප්‍රධානයෙක්) වීමි. මාගේ ඤාතීන් කැඳවා මේ වචනය කීමි.
3582. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුදුරජ තෙම ලොව පහළ විය. හේ සකල ලෝකයාගේ සත්කාර පූජාවට භාජන විය.
3583. කැත්හු ද නියම්ගම්වැස්සෝ ද බමුණුමහසල්හු ද පහන්සිත් ඇත්තාහු මුළුව අධිකාර කළහ.
3584. ඇතරුවෝ ද බලඇණිවල නියුක්තයෝ ද රිය පදවන්නෝ ද පයින් ගමන් කරන්නෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3585. (ක්‍ෂත්‍රියනට දාව ශුද්‍රස්ත්‍රින්ගේ කුසින් උපන්) උග්‍ගයෝ ද ක්‍ෂත්‍රියයෝ (=රාජපුත්‍රයෝ) ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3586. අරක්කැමියෝ ද සළුවඩන්නෝ ද දියවඩන්නෝ ද මල්කරුවෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3587. රජකයෝ ද පෙහෙරු ද සොම්මරු ද කරණවෑමියෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3588. හීවඩුවෝ ද ලියනවඩුවෝ ද සොම්මරු ද ලීවඩුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3589. එසේ ම කඹුරෝ ද රන්කරුවෝ ද ඊයම්වැඩ කරන්නෝ ද ලෝකරුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3590. බැළයෝ ද ගැත්තෝ ද යන බොහෝ දස් කම්කරුවෝ තමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3591. දිය ගෙණෙන්නෝ ද දර ගෙණෙන්නෝ ද ගොවියෝ ද තණ ගෙණෙන්නෝ ද තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3592. මල් ගෙණ එන්නෝ ද මල් ගොතන්නෝ ද කොළ එකතු කරන්නෝ ද ගෙඩිවර්‍ග ගෙණ එන්නෝ ද යන ඔහු තමතමන්ගේ බල පමණින් මුළුව අධිකාර කළහ.
3593. ගණිකාවෝ ද කළදැස්සෝ ද පූවෙළෙඳියෝ ද මාළුවෙළෙඳියෝ ද යන ඔහු තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3594. “එවු, සියල්ලෝ එක්රැස් ව එකට ගනබන්‍ධනය කරමු. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි පින්කමක් කරන්නෙමු” (යයි මම ඔවුනට කීමි).
3595. එකෙණෙහි ඔහු මාගේ වචනය අසා සමූහ වශයෙන් රැස් වූහ හෙවත් ගණවශයෙන් බැඳුනාහු ය. බික්සඟනට උවටන්හලක් ද මැනවින් කරවූහ.
3596. ඔද වැඩි සිතැත්තෙම් සතුටු සිතැත්තෙම් ඒ ශාලාව නිමවා එකී හැම දෙනා සමඟ බුදුරජුන් වෙත එළඹියෙමි.
3597. ලෝකනාථ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ, ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මේ වචන කීමි:
3598. වීරයන් වහන්ස, මුනීන් වහන්ස, මේ තෙසියක් පමණ වූ පුරුෂයෝ එක්රැස් ව මොනොවට කරණ ලද උවටන්හල ඔබවහන්සේට පිළිගන්වත්.
3599. පසැස් ඇති බුදුහු බික්සඟනට පෙරටුවැ සිට (එය) පිළිගෙණ තෙසියක් දෙනා ඉදිරියෙහි මේ ගාථාවන් වදාළහ.
3600. “මේ තෙසියදෙන ද එහි ප්‍රධාන තෙමේ ද (එක් ව ඔවුනොවුනට) අනුවර්‍තතී වූහ. එසේ ම තෙපි සියල්ලෝ (මේ පුණ්‍යය) කොට සම්පත් අනුභව කරන්නාහු ය.
3601. අන්තිම භවය පැමිණි කල්හි නිරුත්තර ශීතිභාවය වූ අජර වූ අමර වූ ශාන්ත වූ නිවණ ද සාක්‍ෂාත් කරන්නහු ය” .
3602. ශ්‍රමණයන් අතුරෙහි උතුම් වූ සර්‍වඥ වූ බුදුරජහු මේ දැක්වූ අයුරින් වදාළහ. මම බුදුරජුන්ගේ වචනය අසා සොම්නස පැවසීමි.
3603. මම කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. දේවාධිපති ව පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
3604. මම දහස්වරක් සක්විතිරජ වීමි. දිව්‍යරාජ්‍යය කරන්නා වූ මට මහදෙවිවරු ද වැන්දාහු ය.
3605-3606. මේ මිනිස්රජයෙහි පිරිස සබඳකම් ඇත්තෝ ම වූ හ. අන්තිම භවය පැමිණි කල්හි අසූකෝටියක් තැන්පත් ධනය ඇති වාසෙට්ඨ නම් බමුණෙක් විය. මම ඒ වාසෙට්ඨ බමුණාගේ පුත්‍ර වීමි. සෙල යනු මගේ නම යි. ෂඩ්විධ වේදාඞ්‍ගයෙහි පරතෙරට ගියෙම් ද වෙමි.
3607-3608. ස්‍වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුව ජඞ්ඝාවිහාරය කරන්නා වූ (=සක්මන් කරණ) මම් දළමඩුළු හා තවුස්පිරිකර බරින් යුත් පිළියෙල කරණ ලද පූජොපහාර ඇති කේණිය නම් තවුසා දැක “ආවාහයෙක් හෝ වේ ද, විවාහයෙක් හෝ වේ ද, තා විසින් රජතෙමේ හෝ නිමන්‍ත්‍රණය කරණ ලදුයේ වේ දැ” යි මේ වචන කීමි.
3609. මම දෙවියන් ය යි සම්මත බමුණන් කෙරෙහි පූජාවක් කරණු කැමැත්තෙමි. රජුට නිමන්ත්‍රණය නො කෙළෙමි. මාගේ යාගයෙක් ද නැත.