400. අජිත ස්ථවිරාවදානය
3856. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩහුන්නේ ය.
3857. මම බුදුරජුන් නො දිටිමි. (උන්වහන්ස්ගේ) ශබ්දය ද නො අසමි. එකල්හි මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.
3858. එහි දී දෙතිස් මහපුරිස් ලකුණින් යුතු වූ බුදුරජානන් වහන්සේ දිටිමි. දැක “මේ සත්ත්ව කිනම් වන්නේ දැ” යි සිතක් ලැබීමි.
3859. ලක්ෂණ බලා මාගේ විද්යාව සිහි කෙළෙමි. “මා විසින් වෘද්ධ වූ පණ්ඩිතයන්ගේ මේ සුභාෂිතය අසන ලද මැ” යි.
3860. “ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙ තෙම බුදුවරයෙක් වන්නේ ය. මම උන්වහන්සේට සත්කාර කරන්නෙම් නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතිය ද පිරිසිදු වන්නේය” යි සිතීමි.
3861. මම වහා අසපුවට ගොස් මීතෙල් ගතිමි. සැළියක් ද ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
3862. මම ත්රිදණ්ඩය (පිරිවැජිපුටුව) ගෙණ එළිමහනෙහි තැබීමි. මම පහන දල්වා අටවරක් වැන්දෙමි.
3863. පුරුෂෝත්තම වූ බුදුහු ද දවරෑ සතක් එහි වැඩහුන් සේක. රැය අවසන්හි ලෝකනායකයන් වහන්සේ ඉන් නැගී සිටි සේක.
3864. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට ප්රසන්නව ම දවරෑ සතක් සියතින් පහන් පිදීමි.
3865. එකල ගන්ධමාදන පර්වතයෙහි සුවඳවත් වූ (ගන්ධමය) සියලු වනයෝ බුද්ධානුභාවයෙන් බුදුරජුන් වෙත එළැඹියහ.
3866. එකල්හි වෘක්ෂයෝ පිපී ගියහ. වෙනෙහි ඇති සියලු පුෂ්පගන්ධයෝ බුද්ධානුභාවයෙන් එක්රැස් වූහ.
3867. හිමවත නා ගුරුළු යම් පමණ වෙද් ද, ඒ පසමිතුරු දෙවග දහම් අසනු කැමැත්තාහු බුදුරජුන් වෙත පැමිණියහ.
3868. බුදුරජානන් වහන්සේගේ අග්රශ්රාවක වූ දේවල නම් ශ්රමණ තෙමේ රහතුන් සියදහසක් සමග බුදුරජානන් වහන්සේ වෙත එළඹියේ ය.
3869. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙම භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
3870. “යමෙක් පහන් වූයේ සියතින් ම මට ප්රදීපයක් දැල්වූයේ ද, හේ (කවරෙක්දැ යි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.
3871. හෙතෙම කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
3872. සතිස් වරක් දේවේන්ද්රව දිව්යරාජ්යය කරන්නේ ය. සත්සිය වරක් පොළොවෙහි මහත් වූ රජය කරවන්නේ ය. (ලබන) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් නො ගිණිය හැකිය.
3873. මේ ප්රදීපදානය හේතු කොට ගෙණ දිවැස් ඇත්තේ වන්නේ ය. (එසේ ම) මෙතෙම හැම කල්හි හාත්පස = ක්රෝශ අටක් දුර දක්නේ ය.
3874. දෙව්ලොවින් ච්යුත වන්නා වූ ද (අන්තැනක) උපදින්නා වූ ද මේ සත්ත්වහට දිවාහිදු රැයිදු ප්රදීපයක් දරන්නේ ය.
3875. (මේ ප්රදීපදානමය) පුණ්යකර්මයෙන් යුක්ත ව උපදනා වූ සත්ත්වයා (උපදනා) නගරය යම්තාක් වේ ද, ඒතාක් බබලන්නේ ය.
3876. මෙ තෙම මේ ප්රදීපදානයාගේ ම අෂ්ටප්රදීපඵලයෙන් දිව්ය වූ හෝ යම් යෝනියක උපදී නම් (කිසිදු) සත්ත්වයෙක් මොහු ජය නො ගන්නේ ය. ප්රදීපදානයාගේ මේ විපාක යි.
3877. කල්ප සියදහසකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.