386. වල්ලිඵලදායක ස්ථවිරාවදානය
3308. සියලු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහු ය. එකල්හි ඵල සොයන්නා වූ ඔවුහු ඵල ලැබුවාහු ය.
3309. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කර ගත්තා වූ පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක) උන්වහන්සේට මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලියපලක් දිනිමි.
3310. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3311. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3312. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3313. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වල්ලිඵලදායක ස්ථවිරාවදානය සවැනි යි.
387. කදලිඵලදායක ස්ථවිරාවදානය
3314. කිණිහිරි රුකක් මෙන් ද පණු රැසි සඳු මෙන් ද බබලන ඇවිළගත් ප්‍රදීපවෘක්‍ෂයක් බඳු වූ බුදුරජුන් දිටිමි.
3315. මම කෙසෙල්පලයක් ගෙන පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට දුනිමි. (ඉක්බිති) වැඳ ඉවත්ව ගියෙමි.
3316. මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3317. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3318. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3319. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කදලිඵලදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
388. පනසඵලදායක ස්ථවිරාවදානය
3320. එකල්හි අර්ජුන නම් සම්බුද්ධ තෙමේ හිමවතෙහි විසීය. ඒ මුනි තෙමේ (පසළොස්) චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ සමාධියෙහි දක්‍ෂවූයේ ද වේ.
3321. කුඹ පමණ වූ ජීවජීවක නම් පනාපලක් ගෙණවුත් පර්‍ණචඡත්‍රයෙහි තබා මම ශාස්තෲන් වහන්සේට දුනිමි.
3322. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3323. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3324. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3325. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පනසඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
389. සෝණකෝටිවීස ස්ථවිරාවදානය
3326. විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිවුදිගින් වඩින සඞ්ඝයාට බන්‍ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදි.
3327. ලෙණෙහි බිම වස්ත්‍රවලින් අතුරා (සඞ්ඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මෙබඳු) ප්‍රාර්‍ත්‍ථනාවක් ද කෙළෙමි.