390. පුබ්බකම්මපිලෝතිකාවදානය
3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්ධ පුෂ්පයෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්තවිල සමීපයෙහි වූ සිත්කලු ගල්තලාවෙක්හි,
3342. මහත් වූ භික්ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහි දී තමන්වහන්සේ ගේ පූර්වකර්මය ප්රකාශ කළ සේක.
3343. මහණෙනි, මා විසින් යම් කර්මයක් කරන ලද ද මාගේ (ඒ කර්මය) අසවු. විපාකාවශේෂකර්මය බුදුබැව් ලැබූ කල්හි ද විපාක දේ.
3344. පෙර මම අප්රකට වූ (ශුද්ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්දා නොකටයුතු වූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්දා කෙළෙමි.
3345. ඒ කර්මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.
3346. ඒ කර්මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්දරිකා නම් පරිව්රාජිකාව නිසා මා විසින් නින්දා වචන ලබන ලදි.
3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්රාවකයෙක් වීය. උන්වහන්සේට නින්දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.
3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්ඝකාලයක් නිරයෙහි සැරි සැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්දා ලැබීමි.
3349. ඒ කර්මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියක් මානවකයනට මන්ත්ර හදාරවමි.
3351. මහත් ඍද්ධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම ඍෂිතෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක නින්දා නො කටයුතු වූ ඔහුට නින්දා කෙළෙමි.
3352. ඉක්බිති මම ශිෂ්යයන්හට “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි කීමි. මාණවකයෝ ද මා කී වචනයට සතුටු වූවාහු ය.
3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි මහජනයාට කීහු.
3354. ඒ කර්මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්ෂුහු සුන්දරිකා පිරිවැජිය නිමිති කොට නින්දා ලැබූහ.
3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීමි. ගිරිදූර්ගයක හෙළීමි. ගලකින් ද තැළීමි.
3356. ඒ කර්මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. (ඉන් නැගුනු) ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළී ය.
3357. පෙර මම කුල දරුවෙක් ව මහමගෙහි ක්රීඩා කරමින් මග (වඩිනා) පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් (උන්වහන්සේ දෙසට) ලීමි.
3358. ඒ කර්මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවී ය.
3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.
3360. ඒ කර්මවිපාකයෙන් ගිරිබ්බජ නම් උතුම් නගරයෙහි දී (මත් වී) භ්රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.
3361. මම පෙර පෘථිවීශ්වර වූ රජෙක් වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
3362. ඒ කර්මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා) ප්රදුෂ්ය විය. කර්මය නැති නො වේ.
3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
3364. ඒ කර්මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේ ද, එකල්හි සියලු ශාක්යයෝ ද නැසුනාහු ය.
3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්රාවකයන්හට යව කවු බුදිවු, හැල් නො බුදිවු යී නින්දා කෙළෙමි.
3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වේරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.
3367. (පෙර) මල්ලයුද්ධයක් පවත්නා කල්හි මල්ලපුත්රයකු පෙළීමි. ඒ කර්මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවේදනාවක් විය.