369. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
3210. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි යටිහොයට යමි. (එකල්හි) මම පිපුනු සල්රුකක් බඳු ව බබලන්නා වූ බුදුරජුන් දිටිමි.
3211. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම තිමිරමල් ගෙණ පසේබුදුරජුන්හට මස්තකයෙහි විසුරුවා පිදීමි.
3212. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3213. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිමිරපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
370. සලලපුප්ඵිය ස්ථවිරාවදානය
3214. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. එහි සක්මණෙහි යෙදෙන දෙවියනට දෙවි වූ බුදුරජුන් දිටිමි.
3215. මම සලලමල් නෙලා එම බුදුරජුන්හට දිනිමි. බුදුරජ තෙමේ දිව්‍යමය සුවඳ ඇති ඒ සලල මල් ආඝ්‍රාණය කෙළේය.
3216. ලෝකනායක වූ මහාවීර වූ විපස්සී සම්බුදුරජතෙමේ මා බලා සිටියදී ම එය ආඝ්‍රාණය කෙළේ ය.
3217. (ඉක්බිති) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැඳ නැවත ද ඇඳිලි බැඳ පර්‍වතයට නැංගෙමි.
3218. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3219. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපුප්ඵියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
මන්‍දාරව කක්කාරු භිස කේසරපුප්ඵිය
අඞ්කෝලක කදම්බී උද්දාලී ඒකචම්පක
තිමිර සලල යයි ගී සාළිසෙක් ම වන්නේ.
සත්තිස්වැනි මන්‍දාරවපුප්ඵිය වර්‍ගය යි.
38. බෝධිවන්‍දන වර්‍ගය
371. බෝධිවන්‍දක ස්ථවිරාවදානය
3220. මම පලාවන් වූ පළොල් රුකක් දැක එකස් කොට ඇඳිලි බැඳ ඒ පළොල් බෝධියට වැන්දෙමි. (පළොල්රුක විපස්සී බුදුරජානන් වහන්සේගේ බෝධිය යි.)
3221-3222. ඇඳිලි බැඳගෙණ සිතින් ද ගරු කොට ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ මැනවින් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනා වූ ආස්‍රව රහිත වූ ලෝවැස්සන් විසින් පුදන ලද කරුණාවට හා ඥානයට සාගරයක් වැනි වූ විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් (මම) ඒ පළොල් බෝධියට වැන්දෙමි.
3223. මම මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධිවන්‍දනාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බොධිවන්‍දනාවෙහි මේ විපාක යි.
3224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිවන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පළමුවැනි බෝධිවන්‍දක ස්ථවිරාවදානය යි.
372. පාටලියපුප්ඵිය ස්ථවිරාවදානය
3225. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පස්මරුන් දිනූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද සේක් බන්‍ධුම නගරයට පිවිසි සේක.
3226. මා විසින් පළොල් මල් තුණත් හිඟෙහි තබන ලද්දේ ය. මම හිස නහනු කැමැත්තෙම් ගංතෙරට ගියෙමි.
3227-3228. බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නා වූ මහනිල් මලක් මෙන් බබලන ඇවිළගත් ගින්නක් බඳු වූ ව්‍යාඝ්‍රරාජයකු මෙන් වූ උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති සිංහරාජයකු බඳු වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
3229. කෙලෙස්මල දෝනා වූ ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් පළොල් මල් තුණ ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
3230. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3231. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
දෙවෙනි පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය යි.