356. අම්බයාගුදායක ස්ථවිරාවදානය
3161. සියල්ල තෙමේ ම අවබෝධ කොටගත් පස්මරුන් දිනූ සතරංසි නම් පසේබුදුතෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬුපිණිස එළඹියේ ය.
3162. මම පිරිසිදු සිත් ඇති ඒ පසේබුදුරජුන් දැක උන්වහන්සේට පැහැදි සිතින් ම අඹ කැඳක් දුනිමි.
3163. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹකැඳ පිදීමෙහි මේ විපාක යි.
3164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගුදායකස්ථවිරාවදානය සවැනියි.
357. සුපුටකපූජක ස්ථවිරාවදානය
3165. දිවාවිහරණයෙන් නික්මුනු ඒ විපස්සී බුදුරජානන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක් මාගේ සමීපයට එළඹි සේක.
3166. ඉක්බිති සතුටු වූ සොම්නස් වූ මම තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුපළාවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
3167. මෙයින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණුපළා දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ලුණු) පළාදනෙහි මේ විපාක යි.
3168. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපුටකපූජකස්ථවිරාවදානය සත්වැනියි.
358. මඤ්චදායක ස්ථවිරාවදානය
3169. ලොවට දෙටු වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින් ම මා විසින් එක් මඤ්චකයෙක් දෙන ලදි.
3170. (එයින්) හස්තියානයන් ද, අශ්වයානයන් ද, දිව්‍යමය යානයන් ද ලැබීමි. ඒ මඤ්චදානයෙන් ම ආස්‍රවක්‍ෂයට ද පැමිණියෙම් වෙමි.
3171. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
3172. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායකස්ථවිරාවදානය අටවැනියි.
359. සරණගමනිය ස්ථවිරාවදානය
3173. එකල්හි ආජීවකයෙක් වූ මම ද, භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුතෙම මට සරණ දුන්නේ ය.
3174. මෙයින් එක්තිස්වන කපෙහි මට යම් සරණයක් දුන්නේ ද (ඒ සරණගතවීම් හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ විපාක යි.
3175. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනියස්ථවිරාවදානය නවවැනියි.
360. පිණ්ඩපාතික ස්ථවිරාවදානය
3176. තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ (උන්වහන්සේට) පිණ්ඩපාතදානයක් දුනිමි.
3177. මහත් වූ ගුණ ඝෝෂ ඇති තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ මම (ආපසු) තුසිත දෙව්ලොවට ගියෙමි.
3178. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණ්ඩපාතදානයාගේ මේ විපාක යි.
3179. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිණ්ඩපාතිකස්ථවිරාවදානය දසවැනි යි.