353. කිංසුකපූජක ස්ථවිරාවදානය
3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.
3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංසුකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
354. සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය
3153. සිඛී බුදුරජානන් වහන්සේගේ තබන ලද පියවර දැක මම අඳුන්දිවිසම එකස් කොට ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.
3154. පිපුනු කටුකරඬු රුකක් දැක කිණිති සහිතව මල් ගෙණ පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍රලක්‍ෂණය පිදීමි.
3155. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාක යි.
3156. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටකකොරණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
355. දණ්ඩදායක ස්ථවිරාවදානය
3157. එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බගන්නා දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
3158. ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ මනා ව්‍රත ඇති සංඝයා වැඳ සැරයටිය ද දී උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
3159. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
3160. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දණ්ඩදායකස්ථවිරාවදානය පස්වැනියි.
356. අම්බයාගුදායක ස්ථවිරාවදානය
3161. සියල්ල තෙමේ ම අවබෝධ කොටගත් පස්මරුන් දිනූ සතරංසි නම් පසේබුදුතෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬුපිණිස එළඹියේ ය.
3162. මම පිරිසිදු සිත් ඇති ඒ පසේබුදුරජුන් දැක උන්වහන්සේට පැහැදි සිතින් ම අඹ කැඳක් දුනිමි.
3163. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹකැඳ පිදීමෙහි මේ විපාක යි.
3164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගුදායකස්ථවිරාවදානය සවැනියි.
357. සුපුටකපූජක ස්ථවිරාවදානය
3165. දිවාවිහරණයෙන් නික්මුනු ඒ විපස්සී බුදුරජානන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක් මාගේ සමීපයට එළඹි සේක.
3166. ඉක්බිති සතුටු වූ සොම්නස් වූ මම තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුපළාවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
3167. මෙයින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණුපළා දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ලුණු) පළාදනෙහි මේ විපාක යි.
3168. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපුටකපූජකස්ථවිරාවදානය සත්වැනියි.