335. ඵුසිතකම්පිය ස්ථවිරාවදානය
2969. එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරන ලදුයේ සඞ්ඝාරාමයෙහි විසීය.
2970. ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ අටලක්‍ෂයක් රහතුන් සමග අරම්දොරින් නික්මෙයි.
2971. (එකල) අඳුන්දිවිසම් පෙරෙවි වැහැරි සිවුරු දරන්නා වූ මම වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) දිය ගෙණ සම්බුදුරජුන් වෙත එළඹියෙමි.
2972. මම තුටු වූයෙම් සිය සිත පහදවා කළ ඇඳිලි ඇත්තෙම් වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) ජලය ගෙණ බුදුරජුන් (උදෙසා) උඩ ඉසීමි.
2973. ඒ කර්‍මයෙන් පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ මාගේ කුශල කර්‍මය පසසා අභිමත තන්හි වැඩි සේක.
2974-2975. මම එකල්හි යම් සුවඳ දැයකින් බිඳු පන්දහසක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) මම දෙදහස් පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. දෙදහස් පන්සිය වරක් සක්විති රජ වීමි. ශේෂ වූ කර්‍මයෙන් රහත්බවට පැමිණියෙමි.
2976. යම් කලෙක් හි ශක්‍රදේවේන්‍ද්‍රයා වෙම් ද, යම් කලෙක් හි මිනිස් ලොව රජ වෙම් ද, මට ඒ නම ම විය. මම ‘ඵුසිත’ නම් වෙමි.
2977. දෙවි වූ ද මනුෂ්‍ය වූ ද මාගේ හාත්පස බඹයක් පමණ (සුවඳ) වැසි බිඳු වස්නේයි.
2978. මා විසින් භවයෝ නසන ලදහ. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආස්‍රවයන් ප්‍රහීණ කෙළෙම් වෙමි.(සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාකයි.
2979. මාගේ සිරුරින් සඳුන් සුවඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ අඩහඬසනක් (දුනු දෙසියපණසක්) තන්හි පැතිරේ.
2980. පුණ්‍යකර්‍මයට අනුකූල ව මා සිරුරින් හමන දිවසුවඳ ආඝ්‍රාණය කොට “ඵුසිත තෙම මෙහි පැමිණියේ ය”යි ජනයෝ දනිති.
2981. අතු කොළ දර තණ යන මේ දෑ හැම ලෙසින් ම මාගේ අදහස දැනගෙන (මෙන් මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.
2982. මෙයින් කල්පලක්‍ෂයකට පෙර සඳුන් දිය පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාක යි.
2983. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඵුසිතකම්පිය ස්ථවිරාවදානය පස්වැනි යි.
336. පභඞ්කර ස්ථවිරාවදානය
2984. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් මහවනයෙහි විය.
2985. සෑය වදිනු සඳහා යාමට කිසිවෙක් සමත් නො වීය. චෛත්‍යය තණ දර ලිය යන මෙයින් ගැවසී ගත් බිඳීගිය එකක් විය.
2986. එකල්හි මම පියමුතුන් පරපුරෙහි ආ සිරිත අනුව වනකාර්මිකයෙක් (වනයෙහි මෙහෙ කරන්නෙක්) වීමි. වනයෙහි තෘණ ලතාවන්ගෙන් ගැවසී ගත් බිඳ වැටුණු එම සෑය ද දිටිමි.
2987. මම බුදුරජුන්ගේ (දා නිදන් කළ) ඒ සෑය දැක ගරු සිතක් ඉපද වීමි: “බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මේ සෑය වෙනෙහි බිඳ වැටුනේ සිටුනා වෙයි.
2988. බුද්ධස්තූපය නො සෝධා අන්‍යකර්‍ම කරන්නේ නම් හොඳ නොහොඳ දන්නවුනට ඒ නොමැනව, නුසුදුසුය” (යී සිතීමි).
2989. මම චෛත්‍යයෙහි වූ තණ ද දර ද වැල් ද පිරිසිදු කොට අටවරක් වැඳ (පිටුනොපා) ඇකිළී ගියෙමි.