340. උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය
3060. මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙළමි.
3061-3062. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්වඥ තෙම තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති ශුද්ධ වූ ෂඩභිඥා අති සිය දහසක් ක්ෂීණාස්රවයන් සමග මාගේ අභිවෘද්ධිය ගැණ සොයමින් මා සමීපයට පැමිණියේ ය.
3063. මම දෙවියනට දෙවි වූ තමා ම සියල්ල අවබෝධ කළ ලෝකනායක වූ බුදුරජුන් දැක එකල්හි පියුම නටුයෙන් කඩා අහසෙහි දැමීමි:
3064. “වීරයන්වහන්ස, ඉදින් ඔබ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සර්වඥ වෙහි නම් පදමයෝ තුමූ ම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා යී” (කියායි).
3065. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ මහාවීර වූ බුදුරජ තෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් ඒ පදමයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
3066. මම මැනැවින් කරණ ලද කර්මය හා චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3067. එම දෙව්ලොවෙහි මට කරණ ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. එය සැටයොදුන් පුළුල්ය. තිස්යොදුන් උසය.
3068. ශක්ර දේවේන්ද්ර ව දහස් වරක් දිව්යරාජ්යය කෙළෙමි. මම පන්සැත්තෑ වරක් සක්විතිරජ වීමි.
3069. කරවන ලද මහත් වූ ප්රදේශ රාජ්යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය. පෙර තමා විසින් මැනැවින් කරණ ලද ස්වකීය කර්ම (විපාක) ය අනුභව කරමි.
3070. ඒ එක පියුම පිදීමෙන් (එහි විපාක) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය සාක්ෂාත් කෙළෙමි.
3071. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආස්රව රහිත ව වෙසෙමි.
3072. මෙයින් ලක්ෂයක් වන කපෙහි පුෂ්ප (පද්ම) පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයි.
3073. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ගන්ධධූප උදක පුන්නාග ඒකදුස්සික
ඵුසිත පහඞ්කර කුටිද උත්තරීයක
ස්වර්ණ ඒකපදුමී එහි පිඬුකළ ගී
එක්සිය සුසාළිසැයි දන්නේ.
ඵුසිත පහඞ්කර කුටිද උත්තරීයක
ස්වර්ණ ඒකපදුමී එහි පිඬුකළ ගී
එක්සිය සුසාළිසැයි දන්නේ.
ගන්ධධූපිය වර්ගය සූතිස් වැනි යි.
35. ඒකපදුමිය වර්ගය
341. ඒකපදුමිය ස්ථවිරාවදානය
3074. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්වඥ තෙමේ කුදු මහත් භවයන් ප්රකාශ කරණුයේ බොහෝ ජනයා සසර සයුරින් එතෙර කෙළේය.
3075. එකල්හි මම පක්ෂීන්හට උත්තම වූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංසක්රීඩා කරමි.
3076. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්රිවිධලෝකයන් මැනැවින් දැනවදාළ පදුමුත්තර බුදුරජ තෙම එකෙණෙහිම එම ස්වයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩියේ ය.
3077. මම දෙවියනට දෙවි වූ ස්වයම්භූ වූ ඒ බුදුරජුන් දැක මනරම් වූ සියපත් පියුමක් නටුවෙන් කඩා-
3078. බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් තුඩින් ගෙණ ඔසවා අහසෙහි වැඩ සිටි එම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
3079. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මාහට මේ අනුමෝදනාව කෙළේය:
3080. “මේ එක ම පියුම පිදීම් හේතුවෙන් ද, චිත්ත ප්රණිධි හේතුවෙන් ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත සඞ්ඛ්යාත දුගතියකට නො යන්නෙහි ය”.
3081. පදුමුත්තර නම් වූ සර්වඥ තෙමේ මේ අනුමෝදනා වදාරා මාගේ කර්මය පිළිබඳ තොරතුරු පවසා වැඩියේය.
3082. මෙයින් පෙර ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3083. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපදුමිය ස්ථවිරාවදානය පළමු වැනි යි.