322. පුලිනපූජක ස්ථවිරාවදානය
2831. බබලන කුඹුක් ගසක් වැනි වූ ද, ශ්රේෂ්ඨ ආජානීයයකු බඳු වූ ද, ඕසධී තාරකාව මෙන් දිලියෙන ප්රභාශ්වර වූ නරශ්රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
2832-2833. (දැක) මම ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේ වැන්දෙමි. බුදුරජුන් පැසසීමි. සිය පින්කමින් තුටු වූයෙම් පිරිසිදු වැලි ගෙණ ඔඩොක්කුවෙහි ලා ගෙණ ගොස් විපස්සී බුදුරජුන් වැඩි මගෙහි දැමීමි.
28334. ඉක්බිති වෙසෙසින් පහන් වූ සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දහවල් වසන තන්හි තාදීගුණ ඇති තථාගතයන්හට පූජාවක් ලෙස විසුළෙමි.
2835. මෙයින් එක්අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැලි ඉසීමෙහි මේ විපාක යි.
2836. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනපූජකස්ථවිරාවදානය දෙවැනි යි.
323. හාසජනක ස්ථවිරාවදානය
2837. ශාස්තෲන් වහන්සේගේ පසුල් සිවුර ගස්මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
2838. ආපසු හැරී නැවත එය දැක්මෙන් මට සතුට පහළ විය. (ඉක්බිති) මුදුනෙහි ඇඳිලි බැඳ වඩාත් සිත පැහැද වීමි.
2839. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ පසුල් සිවුර පිළිබඳ) යම් පහන් හැඟීමක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධචීවරය පිළිබඳ පහන් හැඟීමෙහි මේ විපාක යි.
2840. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හාසජනකස්ථවිරාවදානය තෙවැනි යි.
324. යඤ්ඤසාමික ස්ථවිරාවදානය
2841. උපතින් සත්හැවිරිදි වූ මම වේදයෙහි පරතෙර පතුයෙම් කුල පරපුර දැරීමි. මා විසින් යාගයක් අරඹන ලදී.
2842. එකල්හි මා විසින් අසූසාරදහසක් සිවුපාවෝ මරණ ලැබෙත්, (ඒ සිවුපාවෝ) යාගය පිණිස යූපස්ථම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
2843-2844. උදුන්මුවැ පහළ ස්වර්ණයකට බඳු වූ ද උදාවන හිරු වැනි වූ ද පසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ ද කිහිරඟුරු මෙන් බබළන පැහැපත් මුහුණු ඇත්තේ සතුටු වූ තුන්ලෝවාසීන් විසින් පුදන ලද (තිලොවට) හිත වූ මුදුන් පමුණුවා ගත් සියලු අභිමතාත්ථි ඇති සිදුහත් බුදුරජ තෙම (එතැනට) එළඹ මේ වචන වදාළේය:
2845-2846. “කුමර සව්සත්නට හිංසා නො කිරීම මට රිසියේ. එසේ ම සොරකමින් දුරාචාරයෙන් මත්පැන් පීමෙන් වැලැක්මත්, සමචරියාවෙහි ඇල්ම ද, බහුශ්රැත බව හා කෘතඥ බව ද, (මට රිසියේ). මේ ධර්මයෝ මෙලොව්හි ද පරලොව්හි ද ප්රශංසා කටයුත්තෝ වෙත්.
2847. මේ ධර්මයන් වඩා සව්සත්නට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (=ප්රතිපත්තිය) වඩව”.
2848. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සර්වඥ තෙම මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහස් නැග නික්ම ගියේ ය.
2849. පළමු ම සිත පිරිසිදු කොට පසුව සිත පැහැද වීමි. මම ඒ චිත්තප්රසාදයෙන් තුසිත දෙව්ලොව උපනිමි.