29. ඒකඤ්ජලික ස්ථවිරාවදානය
994. 995. ඇතුළු වීථියෙහි වඩින්නා වූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂ්ඨ සාර්‍ත්‍ථවාහකයකු වූ මනුෂ්‍ය වීරයකු වූ (සත්ත්‍වයා නිවන්පුරයට පමුණුවන බැවින්) විනායක වූ නො දැමුනු අය දමනය කරන්නා වූ තාදිගුණ ඇති මහාවාදී වූ මහාප්‍රාඥ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ දැක මම පැහැදුනෙම් සොම්නස් සිත් ඇත්තෙම් දෑත් එක් කොට එක්වරක් ඇඳිලි කෙළෙමි.
996. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිම්. අඤ්ජලි කර්‍මයාගේ මේ විපාකය යි.
997. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
ඒකඤ්ජලිකස්ථවිරාවදානය නවවැනි යි.
30. ඛොමදායක ස්ථවිරාවදානය
998. එකල්හි මම බන්‍ධුමතීනගරයෙහි වෙළෙඳෙක් වීමි. එම වණික් කර්‍මයෙන් ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන ශීලාදී පුණ්‍ය) බීජසම්පත් ද රෝපණය කරමි.
999. වීථියට පිළිපන් ශාස්තෘ වූ විපස්සී බුදුරජානන් වහන්සේට පින් පිණිස කොමුපිළියක් මා විසින් දෙන ලදී.
1000. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (මම) යම් කොමු පිළියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කොමුපිළිදනෙහි මේ විපාකය යි.
1001. මෙයින් සත්විසිවන කපෙහි සිවුමහදිවයිනෙහි අධිපති වූ සප්ත රත්නයන්ගෙන් යුක්ත වී සින්‍ධවසන්‍දන නම් එක් සක්විතිරජෙක් වීමි.
1002. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛොමදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
ඛොමදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුභූති උපවාන ද - සරණ හා සිල් ගත්තේ ද,
අහර ද දුම් ද දුන්නෝ - යලි උත්තරිය තෙරිඳු ද.
ඇඳිලි බැඳ කෙ මුදුන් - තෙරුන් යී වත් දසයකි,
එක්සිය අසූපස් ගය - කින් එය මෙහි කියවින.
සුභූති වර්‍ගය තෙවැනියි.
සතරවෙනි බණවරයි
4. කුණ්ඩධාන වර්‍ගය
31. කුණ්ඩධාන ස්ථවිරාවදානය
1003. සතියක් (නිරෝධසමාත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තමා ම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගල වූ (පදුමුත්තර) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹීමි.
1004. මම (නිරෝධසමාපත්තියෙන්) නැගී සිටි මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කලැයි දැන මහත් වූ කෙසෙල්කැණක් ගෙන ආයෙමි.
1005. ලෝකනායක වූ මහාමුනි වූ භාග්‍යවතුන් වහන්සේ එ ම ඵලය (කෙසෙල්කැණ) පිළිගෙන මාගේ සිත පහදවනසේක් වැළඳූ සේක.
1006. (තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තර වූ සත්ත්‍වයන් (සසර කතරින් එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහකයකු වැනි වූ බුදුරජානන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ මෙ ම ගාථාවන් වදාළ සේක.
1007. “මෙ ම පර්‍වතයෙහි රැස් වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම්, (ඔහු ද) අරණෙහි මේ ධර්‍මය ඇසීමට සුදුසු අනිකුත් භූතයෝ ද මාගේ වචනය අසත්වා.
1008. ඒ යමෙක් කේශරසිංහයකු මෙන් සර්‍වඥ වූ මට උවැටන් කෙළේ ද, මම ඔහු (කවරෙක් දැ යි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නා වූ මාගේ වචනය අසවු.