26. ධූපදායක ස්ථවිරාවදානය
975. ලෝකජ්යේෂ්ඨ වූ තාදිගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට පැහැදුනු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳ කිළියට සුවඳ දුමක්) දෙනලදී.
976. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියලු දෙනාට ම ප්රිය වෙමි. සුගන්ධධූපදානයාගේ මේ විපාකය යි.
977. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳදුම්දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුගන්ධධූපදානයාගේ මේ විපාකය යි.
978. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
ධූපදායක ස්ථවිරාවදානය සවැනි යි.
27. පුලිනපූජක ස්ථවිරාවදානය
979. විපස්සීබුදුරජානන් වහන්සේගේ බුද්ධත්වයට උපකාර වූ උතුම් වූ ද්රැමමූලයෙහි පරණ වැලි අස් කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
980. මෙයින් එක් අනූවන කපෙහි මම යම් වැලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මෙය වාලුකා (=වැලි) දානයාගේ විපාකය යි.
981. මෙයින් තෙපණස්වන කපෙහි ජනයා අධිපති වන මහත් බල ඇති මහාපුලින නම් වූ සක්විති රජෙක් වීමි.
982. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජකො ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
පුලිනපූජකස්ථවිරාවදානය සත්වැනි යි.
28. උත්තරිය ස්ථවිරාවදානය
983. මම එකල්හි චන්ද්රභාගානදීතීරයෙහි කිඹුලෙක් වීමි. සිය ගොදුරු සෙවීමෙහි නිරත වූ මම නදීතීර්ත්ථයකට පැමිණියෙමි.
984. එසමයෙහි තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ අග්රපුද්ගල වූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ ගඟ තරණය කරණු කැමැති සේක් නදී තීර්ත්ථයට පැමිණියහ.
985. බුදුරජානන් වහන්සේ එළෙඹි කල්හි මම ද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙ ම වචනය කීමි. (කෙබඳු වචනයක් ද? යත්:)
986. “මහාවීරයන් වහන්ස, (මා පිට) නගිනු මැනව, මම ඔබ (ගඟින්) එතෙර කරන්නෙමි. (මේ ජලය) මාගේ පිතෘපරම්පරාවෙන් හිමි ස්ථානය යි. මහාමුනීන් වහන්ස, අනුකම්පා කරණු මැනැව.
987. මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජානන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුනුසේක. සතුටු සිතින් පිණා ගියෙම් ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
988. ගඟ පරතෙරෙහි වූ සිද්ධාර්ත්ථ බුදුරජ තෙම එහි දී “(තෝ) නිවණට පැමිණෙන්නෙහි ය” යි මා සැනසී ය.