24. පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය
948. එකල්හි මම චන්‍ද්‍රවතී නගරයෙහි බැළයෙක් (=බැළයට මෙහෙ කරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනා වූ මම පැවිද්ද නො ලබමි.
949. මහත් වූ මෝහාන්‍ධකාරයෙන් වසන ලද (සත්ත්‍වයෝ) (රාග-ද්වේෂ-මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන් වූවෙක් වන්නෙම් ද?
950. මා ලඟ දිය යුතු දැයක් (=දෙයධර්‍මයක්) ද නැත. මම දුඃඛිත වූ බැළයෙක්මි. මම පඤ්චසීලය පරිපූර්‍ණ කරමින් රකින්නෙම් නම් ඉතා යෙහෙකි.
951. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්චශික්‍ෂාපද (=පන්සිල්) ගතිමි.
952. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සම්පූර්‍ණ වූ පන්සිල් රැකීමි.
953. මැරෙණ කල පැමිණි කල්හි දෙවියෝ මා අස්වසත්. (කෙසේද? යත්:) “නිදුකානෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදූ (දිව්‍ය) රථය එළඹ සිටියේ යˮ (කියායි.)
954. අන්තිම සිත (=චුතිචිත්තය) පවත්නාකල්හි මාගේ (පඤ්ච) සීලය සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතු කොට ගෙණ මම තව්තිසාදෙව්ලොවට ගියෙමි.
955. ශක්‍රදේවේන්‍ද්‍රව තිස්වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදු ව දිවසුව අනුභව කෙළෙමි.
956. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණ ය යි) කිය නො හැකිය.
957. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් චුත ව වෛශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
958. බුදුසසුන බබළද්දී වස් එළඹෙන කාලයෙහි මාගේ මවු තොමෝ ද පිය තෙමේ ද පඤ්චශික්‍ෂාපද (පන්සිල්) ගත්තාහු ය.
959. (එය) ඇසීම හා සමග ම වහා මාගේ ශීලය මම සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
960. උත්පත්තියෙන් පස්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජ තෙම (මාගේ) ගුණ දැන (මා) උපසපන් කරවී ය.
961. මම සම්පූර්‍ණ පන්සිල් රැක මෙයින් අපරිමේයකල්පයෙහි (සිට) දුගතියකට නො ගියෙමි.
962. එ ම පන්සිල්හි අනුහසින් ඒ මම සම්පත් අනුභව කෙළෙමි. (ඒ සම්පත්) කල්පකෝටියක් මුළුල්ලෙහි වර්‍ණනා කරන්නේ නමුදු ලේශ මාත්‍රයක් ම වර්‍ණනා කරන්නේ ය.
963. මම පන්සිල් රැක අනුසස් තුණක් ලබමි. (කවර නම් අනුසස් තුණක් ද? යත්-) මම දීර්‍ඝායු ඇත්තෙම් වෙමි. මහත් වූ භෝගසම්පත් ඇත්තෙම් වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙම් ද වෙමි.
964. සියලු දෙනාහට (තමාගේ) අධිමාත්‍ර වූ ශූර භාවය ප්‍රකාශ කරන්නාක් මෙන් කුදුමහත් භවයෙහි (සසරෙහි) හැසිර මම මෙ ම තනතුරු ලබමි.
965. අප්‍රමාණ වූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම්, විපාකය කෙබඳු වන්නේ ද