275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.
2603. මෙයින් තුදුස්වන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති ඒකඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.
2604. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
276. පොත්‍ථකදායක ස්ථවිරාවදානය
2605. මහර්ෂී වූ බුදුරජුන් හා ධර්‍මය හා සඞ්ඝයා හා ඇරබ අනුත්තර දක්‍ෂිණාර්‍හ බුදුරජුන් කෙරෙහි මා විසින් නියඳ වතක් දෙන ලදී.
2606. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍රදානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුමුතුරුණු සඳහා දුන්) ඒ නියඳ වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
2607. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පොත්‍ථදායක ස්ථවිරාවදානය සවැනි යි.
277. චිතකපූජක ස්ථවිරාවදානය
2608. මම චන්‍ද්‍රභාගා ගං ඉවුරෙහි යටි ගං බලා යමි. (එහි දී) මාලුව මල් සතක් ගෙණ (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
2609. මෙයින් සිවුඅනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
2610. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් යුත් පටිජග්ග යන නම් ඇති සත් සක්විති රජකෙනෙක් වූහ.
2611. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.