273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය
2591. සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.
2592. මම සියලු සත්ත්‍වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2593. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකය යි.
2594. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චඞ්ගොටකිය ස්ථවිරාවදානය තෙවැනියි.
274. අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය
2595-2596. වීතරාගී වූ තාදී ගුණ ඇති ආකාශය සමව පැතුරුණු (මෙත්) සිත් ඇති ප්‍රමාද විහරණ නැති ධ්‍යාන කරන්නා වූ සියලු මුළා වීම් ඉක්ම වූ සකල ලෝක හිතෛෂී භාවයෙන් යුත් ද්වීපදෝත්තම වූ භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරජුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
2597. මෙයින් අසඞ්ඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි (යම්) ආලේපන තෛලයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකය යි.
2598. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
2599. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.