267. ජවහංසක ස්ථවිරාවදානය
2565. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වැද්දෙක් වීමි. අහස්මගෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි.
2566. මම මහාමුනි වූ ඒ බුදුරජුන් බලමින් ඇඳිලි බැඳ සිය සිත පහදවා ලෝකනායක වූ උන්වහන්සේට වැඳීමි.
2567. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බුදුවරයෙකුට වැන්දෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
2568.සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජවහංසක ස්ථවිරාවදානය සත්වැනි යි.
268. සලලපූප්ඵිය ස්ථවිරාවදානය
2569. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මිජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දිටිමි.
2570. මම පහන් සිතැත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සලල (=හොර) මල් ගෙණ ඒ විපස්සී බුදුරජුන්හට විසිරවීමි. (පිදීමි.)
2571. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2572. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපූප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපූප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
269. උපාගතාසය ස්ථවිරාවදානය
2573. හිමවත මැද මැනවින් නිම කළ විලක් විය. මම එහි අනුන් වෙහෙසන සුලු භයානක රකුසෙක් වීමි.
2574. අනුකම්පාව ඇති කරුණාවත් වූ ඒ විපස්සී බුදුරජ තෙම මා (ඒ දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
2575. මම එසේ පැමිණියා වූ මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ (උන්වහන්සේ දිටිමි) (දැක) වසන තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
2576. මෙයින් එක්අනූවන කපෙහි පුරුෂෝත්තම වූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැඳීමෙහි මේ විපාකය යි.
2577. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපාගතාසය ස්ථවිරාවදානය නවවැනි යි.
270. තරණිය ස්ථවිරාවදානය
2578. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ශාස්තෘ වූ විපස්සී බුදුරජ තෙම ගංතෙරෙහි සිටියේය.
2579. මහගඟ තරණය කරණ නැවක් එහි නො වීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායක වූ ඒ බුදුරජුන් එතර කරවීමි.
2580. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන් ගඟින් එතර කිරීම් සඞ්ඛ්‍යාත යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් එතර කිරීමෙහි මේ විපාකය යි.
2581. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
උක්ඛේපී තෙලචන්‍දී - දීපද හා බිළාලිද
මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස
එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
ආකාශොතෙක්‍ෂප වර්‍ගය සත්විසිවනු යි.