264. පදීපිය ස්ථවිරාවදානය
2553. එකල්හි දෙවියකු වූ මම පොළොවට බැස පහන් වූයෙම් සියතින් ම පහන් පසක් පිදීමි.
2554. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
2555. පස්පණස්වනු කපෙහි පෘථිවීශ්වර වූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2556. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදීපිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
265. බිළාලිදායක ස්ථවිරාවදානය
2557. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයක් විය. ඒ පර්‍වත පාදයෙහි රක්නා ලද ඉඳුරන් ඇති සමිතපාපී වූ පසේබුදුවරයෙක් විය.
2558. මම බිළාලි නම් අල ගෙණ ගොස් ඒ ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේ ම දත් මහාවීර වූ පස්මරුන් දිනූ ඒ පසේබුදුරජ තෙම අනුමෝදනාව කෙළේය.
2559. තොප විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලද ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි තොපට ද එහි ඵල නිපදේවා (කියායි).
2560. මම මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බිළාලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිළාලිදානයාගේ මේ විපාකය යි.
2561. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිළාලිදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
266. මච්ඡදායක ස්ථවිරාවදානය
2562. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කබරුස්සෙක් (පක්‍ෂි විශේෂයක්) වීමි. මහත් මත්ස්‍යයකු ගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට දුනිමි.
2563. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් මත්ස්‍යදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මත්ස්‍යදානයාගේ මේ විපාකය යි.
2564. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මච්ඡදායක ස්ථවිරාවදානය සවැනි යි.
267. ජවහංසක ස්ථවිරාවදානය
2565. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වැද්දෙක් වීමි. අහස්මගෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි.
2566. මම මහාමුනි වූ ඒ බුදුරජුන් බලමින් ඇඳිලි බැඳ සිය සිත පහදවා ලෝකනායක වූ උන්වහන්සේට වැඳීමි.
2567. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බුදුවරයෙකුට වැන්දෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
2568.සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජවහංසක ස්ථවිරාවදානය සත්වැනි යි.
268. සලලපූප්ඵිය ස්ථවිරාවදානය
2569. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මිජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දිටිමි.
2570. මම පහන් සිතැත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සලල (=හොර) මල් ගෙණ ඒ විපස්සී බුදුරජුන්හට විසිරවීමි. (පිදීමි.)
2571. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2572. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපූප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපූප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.