270. තරණිය ස්ථවිරාවදානය
2578. දක්ෂිණාර්හ වූ ස්වර්ණවර්ණ වූ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ශාස්තෘ වූ විපස්සී බුදුරජ තෙම ගංතෙරෙහි සිටියේය.
2579. මහගඟ තරණය කරණ නැවක් එහි නො වීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායක වූ ඒ බුදුරජුන් එතර කරවීමි.
2580. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන් ගඟින් එතර කිරීම් සඞ්ඛ්යාත යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් එතර කිරීමෙහි මේ විපාකය යි.
2581. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
උක්ඛේපී තෙලචන්දී - දීපද හා බිළාලිද
මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස
එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස
එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
ආකාශොතෙක්ෂප වර්ගය සත්විසිවනු යි.
28. ස්වර්ණබිම්බොහන වර්ගය
271. සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය
2582. උත්තමාර්ත්ථය වූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දිනිමි. බිම්බොහන (=මෙට්ට) යක් ද දිනිමි.
2583. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බිම්බොහන දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකය යි.
2584. මෙයින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
2585. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බොහනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
272. තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය
2586. ලෝකනායක වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මනෝමය වූ කයින් හෙවත් චිත්ත ගතියට හැර වූ සිරුරින් යුතුව ඍද්ධියෙන් (මා වෙත) එළඹියේ ය.
2587. මම එසේ එළඹියා වූ පුරුෂෝත්තම වූ ශාස්තෲන් වහන්සේට වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල මිටක් දිනිමි.
2588. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තලමිටක් දීමෙහි මේ විපාකය යි.
2589. මෙයින් සොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නන්දිය නම් සක්විති රජෙක් වීමි.
2590. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය
2591. සිද්ධාර්ත්ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.
2592. මම සියලු සත්ත්වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි.