261. ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය
2540. ඇතුළු වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් (දිටිමි). අග්‍ර ජලජපුෂ්පද්වයක් ගෙණ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2541. එක මලක් බුදුරජුන්ගේ ශ්‍රිපාදයට පිදීමි. එකක් ගෙණ අහසට දැමීමි.
2542. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
2543. මෙහින් දෙතිස්වනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
2544. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
262. තෙලමක්ඛිය ස්ථවිරාවදානය
2545. නරශ්‍රේෂ්ඨ වූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
2546. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් තෙල් ගැල්වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෙල් ගැල්වීමෙහි මේ විපාකය යි.
2547. මෙයින් සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුච්ඡවි නම් සක්විති රජෙක් වීමි.
2548. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තෙලමක්ඛිය ස්ථවිරාවදානය දෙවැනි යි.
263. අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය
2549. තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මා විසින් අර්‍ධචන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්‍ගයන්හි මල් පුදන ලදී.
2550. මෙයින් දෙයානූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2551. මෙයින් පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දේවල නම් සක්විති රජෙක් වීමි.
2552. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
264. පදීපිය ස්ථවිරාවදානය
2553. එකල්හි දෙවියකු වූ මම පොළොවට බැස පහන් වූයෙම් සියතින් ම පහන් පසක් පිදීමි.
2554. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
2555. පස්පණස්වනු කපෙහි පෘථිවීශ්වර වූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2556. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදීපිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
265. බිළාලිදායක ස්ථවිරාවදානය
2557. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයක් විය. ඒ පර්‍වත පාදයෙහි රක්නා ලද ඉඳුරන් ඇති සමිතපාපී වූ පසේබුදුවරයෙක් විය.
2558. මම බිළාලි නම් අල ගෙණ ගොස් ඒ ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේ ම දත් මහාවීර වූ පස්මරුන් දිනූ ඒ පසේබුදුරජ තෙම අනුමෝදනාව කෙළේය.
2559. තොප විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලද ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි තොපට ද එහි ඵල නිපදේවා (කියායි).
2560. මම මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බිළාලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිළාලිදානයාගේ මේ විපාකය යි.
2561. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිළාලිදායක ස්ථවිරාවදානය පස්වැනි යි.