260. අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය
2535. කඳු අතුරෙහි වැඩහුන්නා වූ ස්වර්ණවර්ණ වූ රශ්මිය කරණ කොට ගෙණ ගිනි කඳක් මෙන් බබලන සිඛී බුදුරජුන් (දුටිමි.)
2536. මම අග්ගජ නම් වූ මල් ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එය) බුදුරජුන්හට පිදීමි.
2537. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2538. පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
2539. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් අග්ගජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ථොමක ඒකාසන - චිතක චම්පක සත්තපාටලි
උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය
එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය
එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
ථොමකවර්ගය සවිසි වනු යි.
27. ආකාසුක්ඛිපිය වර්ගය
261. ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය
2540. ඇතුළු වීථියෙහි වඩනා වූ ස්වර්ණවර්ණ වූ නරශ්රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ බුදුරජුන් (දිටිමි). අග්ර ජලජපුෂ්පද්වයක් ගෙණ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2541. එක මලක් බුදුරජුන්ගේ ශ්රිපාදයට පිදීමි. එකක් ගෙණ අහසට දැමීමි.
2542. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
2543. මෙහින් දෙතිස්වනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
2544. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
262. තෙලමක්ඛිය ස්ථවිරාවදානය
2545. නරශ්රේෂ්ඨ වූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
2546. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් තෙල් ගැල්වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෙල් ගැල්වීමෙහි මේ විපාකය යි.
2547. මෙයින් සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුච්ඡවි නම් සක්විති රජෙක් වීමි.
2548. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තෙලමක්ඛිය ස්ථවිරාවදානය දෙවැනි යි.
263. අඩ්ඪචන්දිය ස්ථවිරාවදානය
2549. තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මා විසින් අර්ධචන්ද්රාකාරයෙන් නොයෙක් වර්ගයන්හි මල් පුදන ලදී.
2550. මෙයින් දෙයානූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.